දුරකතන සන්නිවේදන කුලුනු අසල කුටිවල මෙන්ම වාහනවල බැටරි සොරාගන්නා කල්ලි දෙකකට අයත් පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමකින් යුත් බැටරි තොගයක් සහ වයර් සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු සන්නිවේදන කුලුනු නඩත්තු සේවකයන් දෙදෙනෙක් හා කුලී ත්‍රිරෝද රථ රියැදුරෙක් ද වෙති. එම සැකකරුවන් සමඟ සන්නිවේදන කුලුනුවලට අයත් බැටරි 4ක්, වාහන බැටරි 7ක් සහ වයර් තොගයක් ද, ප්‍රවාහනයට යොදා ගත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ඇත. ඉකුත් 28 වැනි දින කිරිවත්තුඩුව, යකහලුව ප්‍රදේශයේ පෞද්ගලික දුරකතන සමාගමක දුරකතන සන්නිවේදන කුලුන අසල කුටියක තැන්පත් කර තිබූ බැටරි 4ක් සහ ඉකුත් මාස දෙකක පමණ කාලයක් තුළදී කහතුඩුව පොලිස් වසමට අයත් වාහන කිහිපයක බැටරි සොරාගැනීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියා සිටියේය.
සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් බැටරි කිහිපයක් රැගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව කිරිවත්තුඩුව පුංචි ඉරිදා පොළ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 28 වැනි දින යකහලුව ප්‍රදේශයේ දුරකතන සන්නිවේදන කුලුනෙන් බැටරි සොරාගෙන තිබුණේ මෙම පුද්ගලයන් දෙදෙනා බවට අනාවරණය කරගෙන තිබේ. මේ අතර, පොලීසිය සඳහන් කළේ, කිරිවත්තුඩුව, ගල්කන්ද පාර, 9 වැනි පටුමඟේ කුලී පදනම මත පදිංචිව සිට පෞද්ගලිත ආයතනයක් හරහා කුලී ත්‍රිරෝද රථයක් පැදවීම රැකියාව ලෙස කරන පුද්ගලයකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී කහතුඩුව ප්‍රදේශයේ වාහනවලින් අවස්ථා හතරකදී බැටරි සොරාගත් පුද්ගලයා ඔහු බවට ද අනාවරණය වූ බවයි. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එක් බැටරියක් රුපියල් 4,500 බැගින් රාජගිරියේ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා වෙළෙඳසලකට විකුණා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වූ බවද පොලීසිය පැවසීය. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ, හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ