නීති විරෝධී ආකාරයට මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි තොගයක් විකිණීම සඳහා ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා රුපියල් හයලක්ෂ හැටදහසක දඩ මුදලක් නියම කළේය. කුරුණෑගල – දඹුල්ල පාරේ පදිංචි මොහොමඩ් ඉල්ෂාන් නමැත්තාට රුපියල් තුන්ලක්ෂ හතළිස්දහසක් සහ මාවතගම, වෑඋඩ, මැල්වත්තේ පදිංචි මොහොමඩ් අර්ෂාඩ්ට රුපියල් තුන්ලක්ෂ විසිදහසක් වශයෙන් එම දඩය නියම කෙරිණි. විදේශීය දුම්වැටි තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව දොරටියාව පොලීසියේ නිලධාරීන් පිරිසක් රථවාහන පරීක්ෂාවක් සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී සැකකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ දුම්වැටි 9,200කින් සමන්විත බණ්ඩල 46ක් හමුවූ බව පොලීසිය අධිකරණයට දැන්වීය. කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන හේරත් මහත්වරුන්ගේ උපදෙස් අනුව, දොරටියාව පොලිස් ස්ථානාධිපති, ප්‍ර.පො.ප. සුජීව වීරසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න