ගීත රචකයකු, ලේඛකයකු, සන්නිවේදකයකු, පරිවර්තකයකු, හඬ කැවීම් ශිල්පියකු, පිටපත් රචකයකු රංගන ශිල්පියකු ආදී ක්‍ෂේත්‍ර රැසකම තම නිසඟ හැකියාව දිග්විජය කළ ඔහු සමන් අතාවුදහෙට්ටිය. ‘සමන් කියයි 2’ ඔහු විසින් රචනා කළ නවතම ග්‍රන්ථයයි. ඔහුගේ දියණිය තාරකා අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද කුලුඳුල් නවකතාව ‘චොකොහොලික් හීන’ය. තාරකාගේ 12 වියැති පුතු විසින් රචනා කරන ලද ළමා ග්‍රන්ථය ‘කළු මකරාය’. සුරස ප්‍රකාශන වන මේ ග්‍රන්ථ ත්‍රිත්වයම මෙම මස 12 වැනිදා සවස කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දොරට වඩී. මේ කතුවරුන් සමඟ කළ කතාබහ මෙසේ දක්වමු.
ඔබ තිදෙනාම එක්ව මෙවන් පොත් ත්‍රිත්වයක් එක්වර එළිදක්වන්නට අදහස් කළේ ඇයි?
ඒක මෙහෙමයි. මේ පොත් තුනම එක්වර එළිදක්වන්න ඕනෑ කියන එක පසුව ආ අදහසක්. මුලදී මෙහෙම පොත් එක්වර එළි දක්වනවා කියන අදහසක් අපට තිබුණේ නෑ. ඒත්, තිදෙනාගේම පොත්වල වැඩ සිදු කෙරෙමින් තිබුණා. ගෙදරදී අපි මේ ගැන කතාබහ කරද්දී තමයි, අදහසක් විදිහට පොත් තුනම එළිදක්වන එක දුර්ලභ අවස්ථාවක් සහ විශේෂ අවස්ථාවක් නිසා එකවර කරමුයි කියලා අදහස් කළේ. පොත්වල වැඩ ටික දැන් කෙරිලා අවසන් නිසා හරිම සතුටුයි.
සමන් මහත්මයා, ඔබේ ග්‍රන්ථයේ අන්තර්ගතය ගැන කතා කරමු?
මම කළ දේශන එකතු කරලා පොතක් කරමුයි කියලා ගුණසේන සමාගමෙන් ඉල්ලීමක් කළා. මා කළ දේශනා ඇසුරෙන් කළ පළමු පොතයි ඒ. ඒක 2016 ප්‍රකාශයට පත් කළා.
ඊට පස්සෙත් බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා මා කළ දේශන ඇසුරෙන් තවත් පොතක් කරන්න කියලා. නොයෙක් දේවල් නිසා ඒක අතපසු වෙමින් තිබුණා. ඒකට සුදුසු අවස්ථාව එළඹුණා. ඒ අනුව දෙවැනි පොත කරන්න මා අදහස් කළා. මා කළ දේශන ඇසුරින් විවිධ අවස්ථා සහ පුද්ගලයෝ අනුව කතා 10ක් තෝරාගත්තා. ඒක තමයි මේ පොතට පසුබිම වූ කාරණාව.
මේ දේශනා කතා, ඔබ සැලසුම් කළේ කොහොමද?
මම කතා කරද්දී හිතේ හැටියට නිදහසේ කතා කරන්නේ නෑ. මම සම්පූර්ණ කතාවම ලියනවා. උත්සව සංවිධායක මට ලබාදෙන වෙලාව අනුව මම ඒක සකස් කරගන්නවා. ඒ සකස් කර ගත් එක තමයි මම ඉදිරිපත් කරන්නේ. නැතුව කෙටි සටහන් ගහගෙන මම කවදාවත් කතා කරන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක් හැටියට කරන දෙයක්. මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන් තමයි, මම ඒ දේ ඉගෙන ගත්තේ. මොකද එහෙම කළාම කතාව පිට පනින්නේ නෑ. මට කියන්න ඕන දේ හරියටම අවධාරණය කරලා කියන්න පුළුවන්. එතකොට කිසිම කරුණක් මට අතපසු වෙන්නෙත් නෑ. ලබා දුන් වෙලාවටම මට කතාව ඉවර කරන්නත් පුළුවන්. මේ කතාවක් සකස් කරගන්න මම මාසයක් විතර කාලයක් තිස්සේ වෙහෙසෙනවා. ඒ අනුව ඒ විදිහට සකස් කරගත්ත කතා තමයි මේ පොතේ තියෙන්නේ.
මේ වගේ දේශන ඇසුරින් සකස් කළ ග්‍රන්ථ ලංකාවේ අල්පයි. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ලංකාවේ සාමාන්‍ය දේශන එකතු කරලා පොත් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථා අඩුයි. නමුත් විශේෂ අවස්ථාවල කළ ඒවා තියෙනවා. නමුත් සාහිත්‍ය ශානරයක් විදියට සකස් කළ මෙවන් ග්‍රන්ථ පිටරටවල තියෙනවා. විවිධ පුද්ගලයන් විවිධ විෂයන් සම්බන්ධ තොරතුරු සොයන්න ඕනෑම කෙනෙකුට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම කතාවක් ගොඩනඟන විදිහයි ඉදිරිපත් කරන විදියේ සභාවේ ඉන්න ප්‍රේක්ෂකයන් කතාවට ඇද බැඳ ගන්නා විදිහ ගැන අධ්‍යයනය කරන කෙනෙකුට මේක අත්පොතක් විදිහට භාවිත කළ හැකියි. ඒ වගේම මං මේක ලිව්වේ පොදු පාඨකයාටයි.
අත්දැකීම් බහුල දේශකයෙක් විදිහට ඔබට පොදු දේශකයන්ට දීමට යම් පණිවිඩයක් වෙත්ද?
අපේ බොහෝ දේශකයන් තමන්ගේ දේශනයේ කාලය ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නෑ. දුන් වෙලාවට වඩා වැඩි කාලයක් ගන්නවා. විෂය ගැන ඔළුවේ තියාගෙන තමන් දන්නා සියලු දේ කියනවා. ඒ අතරතුර මට තව විනාඩි පහකට වඩා කාලයක් නැතුව ඇති කියලත් කියනවා. මේවට සභාවේ ඉන්න අය යටි සිතින් හිනාවෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයා තෙහෙට්ටු වෙනවා. දේශකයා අප්‍රසාදයට පත්වෙනවා. තමාට දුන් නියමිත කාල වේලාවට අනුව කතාව කරන්න සූදානම් වෙන්න ඕනෑ.
තාරකා, මෙය ඔබේ පළමු නවකතාව. මෙවන් ග්‍රන්ථයක් ලියන්න අදහස් කළේ ඇයි?
මට පොතක් කරන්න ඕනෙ කියලා තදබල ආශාවක් හෝ ඉලක්කයක් තිබ්බා කියලා කියන්නත් අමාරුයි. ඒත් පොතක් කිරීම ගැන හිතේ කොනක සැඟවිලා වගේ තිබුණා.
මම නිතර මුහුණුපොතේ “දිල්ලි මතක” කියලා කෙටි ලිපි යොමු කළා. ඒක කියවන පිරිසකුත් හිටියා. ඒ අය මට ලියන්න දිරි දුන්නා. සමහරු පොතක් කරන්නත් යෝජනා කළා. එතකොට මගේ යට හිතේ තිබුණු පොතක් පිළිබඳ සිතුවිල්ල මතු වුණා. දරුවන් තිදෙනෙකුගේ වැඩ කටයුතුත් එක්ක මට පොතකට යොමු වෙන්න වෙලාවක් නෑ. ඒත්, ලැබුණු අවස්ථාවක මම කල්පනා කළා මොනවද ලියන්නෙ කියලා. හිතේ තිබුණු දිල්ලි හැඟීම, අත්දැකීම්, ඒ වගේම මගේ ජීවිත කාලය පුරාවටම හමුවුණු චරිත, සිදුවීම්, එක්ක කතාවක් ගොඩනැඟුවා.
මම ලියපු දේවල් ඥාති හිතවතියන්ට යවලා ප්‍රතිචාර බැලුවා. ඒ ලැබුණු උත්තේජනයත් එක්ක මම මේක නිමාවා දක්වා ගෙනාවා.
චොකොහොලික් හීන යන්නෙන් අදහස් කළේ කුමක්ද?
චොක්ලට්වලට ඇබ්බැහි වුණු කියන තේරුම තමයි මෙයින් කියැවෙන්නේ. චොක්ලට් කියන්නේ රස කෑමක්. ගොඩක් අය චොක්ලට්වලට කැමතියි. චොක්ලට් කෑමෙන් රසය වගේම ආතතියත් දුරලනවා. ඒ අතරින් නරක හීන දකිනවට වඩා චොක්ලට් වගේ හීනයක් දකින්න කවුරුත් කැමති වේවි. ඒ අදහසින් තමයි මේ නම යෙදුවේ.
මෙය ඔබේ පළමු ග්‍රන්ථය බැවින් එය අතට ලැබුණාම ඇති වුණු හැඟීම මොනවගේද?
පළමු බබා අතට දුන්නාම ඇති වන සතුට හා ආඩම්බරය මුසු හැඟීමක් දැනුණා කිව්වොත් නිවැරදියි.
තරුසර පුතාගේ කළු මකරා ලියන්න පසුබිම යෙදුණේ කොහොමද ?
පුතා පෙර පාසල් යන කාලයේ සුමුදු පතිරාජ කියලා ගුරුවරයෙක් මුණගැසුණා. එයා කේමදාස මාස්ටර්ගේ ගෝලයෙක්. එයා නාට්‍ය, හඬ උස් පහත් කරන හැටි, ඔපෙරා, රූකඩ වැනි නොයෙක් දේවල් පොඩ්ඩ, පොඩ්ඩ කළා. එයාට වයස අවුරුදු 5දිත් ඒ සර්ගෙ පන්තියට සම්බන්ධ කළා. ඒ සෑම පන්තියකදීම ලෝක ප්‍රකට චරිත, ඇතුළු නොයෙක් දේ ගැන චිත්‍ර අඳින්න කියලා දුන්නා. එයා ගෙදර ඇවිත් චිත්‍ර ඇන්දා. එයා චිත්‍රයේ තියෙන විස්තරය මට කියන්න ගත්තා. මම ඒක චිත්‍රය පිටුපස ලිව්වා. ගුරුවරයා ඒකට ඉතාමත් කැමති වුණා. එයා අකුරු ලියන්න ඉගෙන ගත්තාම ගොඩනැඟූ කතා එයාම ලිව්වා. මගේ පියාත් නිතර පොත් ලියන, කියවන කෙනෙක් නිසා මෙයාටත් ආසාවක් ඇති වුණා පොතක් කරන්න. එයත් තනිවම සම්පූර්ණ කතාවක් ලිව්වා ඉංග්‍රීසි බසින්. මගේ පියාගේත් උදව් ඇතුව ඒක සිංහලයට පරිවර්තනය කළා. ඒ විදියට තමයි මේ කතාවත් ලියැවුණේ.
ශ්‍යාමා සමරසිංහ