පොතක පිටු ගණන වැඩි වූවාට කම් නැත. පිටු ගණන වැඩි විය යුත්තේ හේතු-ධර්මයක් ඇතිවය. ආචාර්ය නවරත්න මහත් කැපවීමකින් යුතුව පර්යේෂණය කරන ලද හා අභ්‍යාසයෙහි යෙදෙන ලද භාවිතයන් සමාජගත කර තිබේ. ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත්ය. කොතරම් ප්‍රයෝජනවත් ද යත්; ඇතැම් ගෝලීය ගැටලුවලට විසඳුම් ඔහුගේ කෘතිය තුළ අන්තර්ගතය.
අද පොත් විචාරයට පූර්විකාවක් ලෙසින් අර්බුදයට ලක්වූ ක්ෂේත්‍ර දෙකක් ගැන සංක්ෂිප්ත සටහනක් තැබිය යුතුය. හේතුව, අදාළ කෘතිය රචනා වී ඇත්තේ එම ක්ෂේත්‍ර දෙකෙහි ගැටලු හා අර්බුදය ද පාදක කරගනිමින් නිසා ය. පළමු ක්ෂේත්‍රය නම්, ගෝලීය මානව සමාජයෙහි පවත්නා මානසික සෞඛ්‍යයේ පිරිහීමය. දෙවැන්න නම්, නූතන සමාජය මුහුණ දෙන පාරිසරික විපත් සම්බන්ධ කාරණයයි. ඊට බලපාන ප්‍රධාන සාධකයක් වූ වන විනාශයට හැඟුම්බර පිළිතුරක් අදාළ කෘතිය ඔස්සේ සපයා තිබේ.

ආචාර්ය ප්‍රියන්ත නවරත්න
ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළුව තවත් පර්යේෂණ ආයතන ගණනාවක වාර්තාවලට අනුව ගෝලීය මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ නිවැරැදි දත්ත ලබා ගැනීම අතිශය දුෂ්කරය. මන්දයත්, සමාජය එම කරුණු හා සාධක සඟවන බැවිනි. ඇතැම් විට තමාට මානසික ආබාධයක් ඇති බව බොහෝ දෙනා නොදනිති. මේ පිළිබඳ විවෘත අදහස් දැක්වීමක් හෝ හෙළිදරව්වක් හෝ සපයා ගැනීම ද දුෂ්කර ය. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීම ද අඩුය. පර්යේෂණ සිදු වන්නේ ද ඉතා අඩුවෙන්ය.
වාර්තා කිහිපයක දැක්වෙන ආකාරයට ගෝලීය සමාජයේ ස්ත්‍රී ජනගහනයෙන් ගත් කල කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකුට කුමක් හෝ මානසික ආබාධයක් පවතී. මේ තත්ත්වය පිරිමි පාර්ශ්වය වෙතින් දැකගත හැක්කේ, සෑම පුරුෂයන් පස්දෙනකුගෙන්ම එක් අයකුට මානසික ආබාධයක් පවතී යනුවෙන්ය. මෙහි ආබාධය යනු බරපතළ රෝගී තත්ත්වයක් නොවන බවද සඳහන් කළ යුතුය. එහෙත් එම චරිතය සමාජයේ පැවැත්මට, සබඳතාවල දිගුවට මෙන්ම සමාජයේ ඉදිරි ගමනට ද බාධාවක් බව පෙන්වා දෙනු ලැබේ. ආතතිය, හුදෙකලාභාවය, කාංසිය, අමතක වීම මේ ආබාධ අතර සුලබ බවද පෙනී ගොස් ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය පුරා දසක දෙකක් පමණ යන තුරු මේ තත්ත්වය උග්‍ර ලෙසින් පැවැතිණි.
ඊළඟ අර්බුදය සමස්ත පරිසරයේ විනාශ වීමට සම්බන්ධය. පරිසරයේ සමතුලිතභාවය බිඳී ඇත. අයිස්ලන්තයේ ග්ලැසියර් වේගයෙන් දියවෙයි. ආක්ටික් කලාපය පුරාම එය අර්බුදයකි. අප්‍රිකාවේ කාන්තාරවලට ජල ගැලීම්වලින් හානි සිදු වෙයි. පූජියාමා ගිනි කන්දට අයිස් වැටී ඇත. 2024 වර්ෂය මෙතෙක් පැවැති අධිකම උෂ්ණත්වය වාර්තා කළ අතර, දරාගත නොහැකි උණුසුම නිසා යුරෝපයේ පමණක් එක්ලක්ෂ ගණනක් ක්ෂණික මරණවලට පත්වූහ. ඉන්දියාවේ පිදුරුවලට ගිනිලෑම නිසා ප්‍රධාන නගර කිහිපයක් දුමෙන් වැසී ඇත. චීනය, ඉන්දියාව පමණක් නොව; යුරෝපීය රටවල් ද ඉතා දරුණු වායු දූෂණයකට මුහුණ දෙයි. මනුෂ්‍ය ජීවිත සෑම අයුරකින්ම තර්ජනයට ලක්වී ඇත. ජෝර්ජියාවේ ළැව්ගිනි නැවැත්වීමට අමෙරිකාව අපොහොසත්ය. ඇමේසන් ගංගා තීරය හා වනාන්තර පද්ධතිය ඉතා ශීඝ්‍රයෙන් විනාශ වෙයි. පාරිසරික තත්ත්ව සාගතයට හා තවත් අර්බුදවලට හේතු සාධකයක් වී ඇති අතර, එම අවිනිශ්චිතතාව මත මිනිස් සමාජයේ මානසික සමබරතාව බිඳී ඇතැයි සමීක්ෂණයක් ගොඩනැඟිය හැකිය. නූතන ලෝකය හමුවේ ඇති ප්‍රධාන මානව අර්බුදය ඒ යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ.
අද අපගේ විමර්ශනයට ලක්වන කෘතිය ඉහත විෂයයන් පිළිබඳ ඍජු මැදිහත් වීමක් කරන්නේ නැති වුව ගැටලුවට අදාළ මූලෝපායික තත්ත්වයන් ගණනාවක් හඳුන්වා දෙයි. එය දේශපාලනික හා ආර්ථික වශයෙන් වුව වැදගත් කෘතියකි. උගත හැකි බොහෝ දේ ඇත. ඒ සමස්ත අර්බුදය සම්බන්ධයෙනි. “අරණක නිවෙන සිත” යනුවෙන් හඳුන්වා ඇති එය ප්‍රබන්ධමය නොවන පර්යේෂණ කෘතියකි. තව අතෙකින් බරසාර උපාධි නිබන්ධනයකි. බුදුදහම, මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ග්‍රන්ථයක් ලෙසද එය හැඳින්විය හැකිය. උපාධි නිබන්ධනය යම් වෙනසකට ලක්කොට අලුත් සංස්කරණයක් ලෙසින් සාමාන්‍ය පාඨකයා අතරට පත්කර ඇතැ’යි කිව හැකිය. කුතුහලයකින් යුතුව කියවාගෙන යා හැකිය. කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත්තේ ‘මනසේ දියුණුව උදෙසා පරිසරයේ බලපෑම’ ගෙනහැර දක්වන කෘතියක් හැටියටය. එය කාගේත් ආකර්ෂණය දිනාගනු ලබන හැඳින්වීමක් ලෙස පෙන්වා දිය හැකිය. කතුවරයා ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසනවල චාරිකා කරමින්, ඒවායෙහි නේවාසිකව භාවනා කරමින්ද තාවකාලික පැවිද්ද ලබාගනිමින් හා පිඬුසිඟා වඩිමින් ලබන අත්දැකීම් සමූහය අතිශය වැදගත්ය. ඒ හැරෙන්නට මියන්මාරයේ සේනාසනවල සිදු කරන චාරිකා හා අභ්‍යාස නව අත්දැකීම් පෙළක් ලෙස පවතී. ප්‍රධාන විෂය කරුණු දෙකක් මෙහිලා ඉස්මතු කර දැක්විය හැකිය.
(i) පරිසරය හා මනස අතර පවත්නා ගැඹුරු සම්බන්ධතාව
(ii) වනය, වනයේ ස්වභාවය හා එහි සුරක්ෂිතතාව පිළිබඳ ඇතිවන උද්‍යෝගය
වනාන්තර පිළිබඳ ශ්‍රී ලාංකේය සමාජය තුළ පවත්නා අදහස බෙහෙවින් ගැඹුරු සංකල්ප ඔස්සේ විකාශය වී ඇත. අපේ පුරාණ ජන සමාජ වනය උතුම්කොට සලකා එය අදහන්නට පෙලැඹී උන්නාහ. ඇතැම් විට වනයට අරක්ගත් දේව කොට්ඨාස ඇතැ’යි විශ්වාසයන්ද ඔවුන් තුළ පැවැතිණි. අයියනායක දෙවියන්ගේ සංකල්පය ඊට කදිම නිදසුනකි. පුල්ලෙයාර් දෙවියන් තවත් නිදසුනකි. ශ්‍රී පාද අඩවිය සමන් දෙවියන්ට භාර දී ඇත. මුළු රටේ අනාගතය හා බුද්ධ ශාසනය භාර දී ඇත්තේ කතරගම දෙවියන්ටය. ඒ අනුව වන අරණ, සේනාසන යනු බරපතළ ස්ථාන ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ එබඳු ස්ථාන ගණනාවක විචිත්‍ර අත්දැකීම් අප හමුවේ තබන කතුවරයා, මියන්මාරයේ සේනාසන කිහිපයක සජීවී අත්දැකීම් ද අප හමුවේ තබයි. මේ සෑම සන්දර්භයක් තුළම සිතට අභ්‍යාස පවතින අතර, ඉදිරිපත් කරන වගවිස්තර ඔස්සේ වන අරණ ගැන ගෞරවයක් මෙන්ම ආදරයක් ද ඇති කරයි. මේ පොත කියවන පාඨකයා වනාන්තර ගැනද පරිසර පද්ධති ගැනද සතා-සීපාවුන් ගැන ද අලුතින් හිතන්නට පෙලැඹෙනු ඇත.
මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මානවයාගේ සිත – මනස සන්සුන් බවට පත් කිරීමය. එය රෝග නොවී සතුටින් තබාගැනීමය. ලෝක නායකයන්, හමුදා ප්‍රධානීන්, උසස්ම නිලධාරින්, ප්‍රභූන්, ධනවතුන්, උගතුන් අතර ද මානසික ව්‍යාධි ශීඝ්‍රයෙන් පැතිර යයි. එය ගෝලීය සබඳතාවලට අහිතකර ලෙස බලපාන අතර, ඩොලර් බිලියන ගණන් වැය වන ගැටුම් පවා මේ ඔස්සේ ඇතිවෙයි. ඇති වී උත්සන්න වෙයි. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි අතර පැවැති අලුත්ම සාකච්ඡාව අවසන් වූයේ නෝක්කාඩුවක් ඉතිරි කරමින්ය. මෙය යුද්ධය සඳහා ඍජු බලපෑමක් ඇති කරනු නියතය. මේ යුද්ධය සඳහා දැනටම අමෙරිකාව ලබාදී ඇති යුද ආධාරය විශාලය. අමෙරිකාව යුක්‍රේනයෙන් එම මුදල් නැවත අය කර ගැනීමට අපේක්ෂා කරයි. ගැටලුව නිමාවට පත් නොවන බව පැහැදිලිය. නායකයන්ගේ මානසික තත්ත්ව මේ කෙරෙහි දැඩිව බලපා තිබේ. සමස්ත සමාජයේම මනස සුවපත් කොට නිරවුල් කිරීමේ ව්‍යාපෘතියක අවශ්‍යතාව ගෝලීය වශයෙන් පැන නැඟී තිබේ. එබඳු සන්දර්භයක් තුළ ආචාර්ය ප්‍රියන්ත නවරත්නගේ මේ උත්සාහයෙහි වටිනාකම තවත් ඉහළ යයි. ප්‍රියන්ත නවරත්න දැවැන්ත ශාස්ත්‍රීය කටයුත්තක සේම දැවැන්ත සමාජ මෙහෙවරකද යෙදී ඇත.
කෝපර්හේගන් කාලගුණික මධ්‍යස්ථානයේ අලුත්ම වාර්තාවලට අනුව මෑත කාලයේ ලොව ගිනියම් කළ ප්‍රධාන වර්ෂය 2024 විය. වසර නිමාවට පත්වී තවත් මාස දොළහකට වැඩි කාලයක් ගතවීමට පෙර උෂ්ණත්වය සමහන් විය යුතුය. එවැන්නක පෙරලකුණු පහළ වී නැත. ඉන් හැඟෙන්නේ 2025 වසර ද ගිනියම් තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යන බවය. මේ ස්වාභාවික සංසිද්ධිය මත ජල මූලාශ්‍ර සිඳී යන බවද සාගතය උත්සන්න වන බව ද කියැවේ. එවිට මානසික අසහනය තවදුරටත් තීව්‍ර වනු ඇත. මනස අවුල් වීම සියල්ලට වඩා භයානකය. නායකයන්ගේ තීන්දු – තීරණ මත ගාසා ගැටුම සේම යුක්‍රේන යුද්ධය ද උත්සන්න වන්නට පුළුවන. යුක්‍රේන යුද්ධයේ කෙළවර න්‍යෂ්ටික යුද්ධයක් විය හැකිය. දැනට පවතින න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට අනුව නවීන අවි භාවිත කළහොත් තත්පර කිහිපයකින් ලොව දැවී අළු වී යන්නට පුළුවන. අප ජීවත් වන්නේ ගිනි කන්දක මුවවිටෙහි යැයි කිව හැකිය. මේ මොහොතේ සාමය, මනසේ නිරවුල්භාවය සේම මිත්‍රත්වය ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක සේ පෙනී යයි. එලෙසම පරිසරය කෙරෙහි මිනිස් සිතෙහි නැඹුරුතාවද අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතිනු ඇත. ඒ සාධක දෙකම ආචාර්ය ප්‍රියන්ත නවරත්නගේ දැවැන්ත පර්යේෂණ කෘතිය සමඟ අප හමුවට එයි.
ආචාර්ය නවරත්න මේ කෘතිය සඳහා දරා ඇති පරිශ්‍රමය මෙරට ශාස්ත්‍රාලයන්හි සේම උගත් සමාජයෙහි ද ඇගැයීමට පාත්‍ර විය යුතුය. ඔහු අංශ කිහිපයකින්ම තම ඉලක්ක සාක්ෂාත් කර ගනී.
(i) බුදුන් වහන්සේගේ උපදේශන සූත්‍ර ධර්ම හා ආරණ්‍යවාසී භික්ෂූන්ගේ අත්දැකීම්
(ii) ඓතිහාසික ග්‍රන්ථ පරිශීලනය හා ලෝක අත්දැකීම් ඒකරාශී කිරීම
(iii) තාවකාලික පැවිදි බව ලබමින්ද භාවනා අභ්‍යාසවල යෙදෙමින් ද ස්වකීය අත්දැකීම් ප්‍රකාශයට පත් කිරීම
(iv) සිත එකඟ කරගනිමින් ආධ්‍යාත්මික සැනසිල්ලක් අපේක්ෂා කරන අයට පමණක් නොව; ලෝකය ගැන උනන්දු වන ඕනෑම පාඨකයකුට වැදගත් දැනුම් සම්භාරයක් සහිත කෘතියක් ඉදිරිපත් කිරීම (සමාජගත කිරීම)
මේ ග්‍රන්ථයේ කතුවරයා පර්යේෂකයකු, මනෝ උපදේශකයකු දේශකයකු පමණක් නොව අන්තර්ජාතික වශයෙන් සම්මාන හිමිකරගත් කීර්තිමත් විද්වතකු හැටියට ද හැඳින්විය හැකිය. ඔහු මීට පෙර ලියන ලද කෘතිවලින් ද පෙනී යන්නේ සමාජ මෙහෙවරක නිරත වීමේ බලවත් අපේක්ෂාවෙන්ම ආචාර්ය නවරත්න මේ සත්කාර්යයෙහි යෙදී ඇති බවය.
රන්ජන් අමරරත්න