ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2024 වර්ෂය තුළ පැමිණිලි 8192ක් ලැබී ඇති බව එහි නීතිය බලාත්මක කිරීමේ අධ්යක්ෂ නීතිඥ සංජීවනි අබේකෝන් මහත්මිය පැවසුවාය. ළමා ආරක්ෂාව හා ළමා අපයෝජන වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා ළමා ආරක්ෂක අධිකාරියේ ඊයේ (4) පැවැති වැඩමුළුවකදී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය. පසුගිය වර්ෂය තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලෙස පැමිණිලි 2756ක් ලැබී ඇත්තේ ළමුන්ගේ භාරය හා ආරක්ෂාව සම්බන්ධව බවද ඇය පෙන්වා දුන්නාය. ළමා භාරය හා ආරක්ෂාව දරමින් ළමයින් ශාරීරික හා මානසික හිංසනයට පත් කිරීම සම්බන්ධ පැමිණිලි 1950ක් ද, වයස අවුරුදු 16ට අඩු ළමයින් පාසල් නොයැවීම සම්බන්ධව පැමිණිලි 1628ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත 2024 වසරේ වාර්තා වී ඇත. ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධව පැමිණිලි 580ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති බව ද ඇය පැවසුවාය.