ජීවිත අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කරන ලද “සඳේ ගින්දර” කෘතිය හෙට (මාර්තු 07) දිනට යෙදෙන තම උපන්දිනය දා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී එහි බලධාරීන් එම උත්සවය අවලංගු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
මුදල් ගෙවා නීත්‍යනුකූලව ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන්කර ගෙන තිබියදී පොත් එළිදැක්වීමේ උත්සවය අවලංගු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විමල් වීරවංශ මහතා කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා පැවසුවේ රජයට අයත් ආයතනවල ශ්‍රවණාගාර මීට පෙර ආණ්ඩු විරෝධි කථිකාවන් සඳහා ද යොදාගෙන තිබෙන බවයි.
තමා විසින් ලියන ලද “සඳේ ගින්දර” නවකතා පොත එළිදැක්වීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ මේ උත්සවයේදී ආණ්ඩු විරෝධී ක්‍රියාවක් හෝ වෙනත් කිසිම දේශපාලන දේශනයක් කිරීමට සූදානමක් නොතිබුණු බව ද හෙතෙම පැවසුවේය.
“මේ නවකතාව මගේ සත්‍ය ජීවන අත්දැකීම් පදනම් කරගෙන මා විසින් රචනා කරන ලද්දක්. අපි එය මගේ උපන්දිනය යෙදෙන හෙට (07) දිනයේ එළිදක්වන්ට සූදානම් කරගනිමින් ජාතික ලේඛනාරක්ෂක ශ්රවණාගාරයට මුදල් ගෙවා වෙන් කරගෙන තිබුණා.
හෙට සවස 3ට මේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණා. මා සැලකිය යුතු ප්‍රමාණයකට ආරාධනා පත්‍ර ද බෙදාහැර තිබුණා. අපි ඩිජිටල් ෆ්ලැට්ෆෝම් මඟින් ද ආරාධනා පත්‍ර විශාල වශයෙන් බෙදාහැරියා. එහි සඳහන් වන්නේ මේ උත්සවය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ තිබෙනවා කියලයි. දැන් අපිට නිලධාරිනියක් කතා කරලා කිව්වා ශ්‍රවණාගාරය අපිට දෙන්න බැහැ කියලා. මේ තත්ත්වය ගැන කනගාටු වෙනවා.