මෙරට අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය සංවර්ධනය කිරීම “අධ්‍යාපන කවුන්සිලය” පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී අවශ්‍ය වනුයේ හදවතින්ම කැප වී වැඩ කළ හැකි, හොඳ ධාරිතාවක් තිබෙන, අධ්‍යාපනයේ පංගුකරුවන් සහ සම්පත්දායකයන් බිහි කරගැනීම බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකාර පීඨ ශ්‍රවණාගාරයේදී පැවති 2009 වසරේ අධ්‍යාපන පරිපාලනයට එකතු වූ නිලධාරින් පළමු ශ්‍රේණියේ සිට විශේෂ ශ්‍රේණිය දක්වා උසස් කිරීමට අදාළව පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනක් අමතමින් අගමැතිවරිය මේ බව පැවසුවාය.
අගමැතිවරිය මෙසේද ප්‍රකාශ කළාය.
“ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා සිදු කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වැනිම නව අධ්‍යාපන ප්රතිසංස්කරණයකට අපේ රටේ අධ්‍යාපනය රැගෙන යන්නට ආණ්ඩුවක් විදිහට අපි සූදානමින් ඉන්නේ. මෙහිදී ඔබ සමඟ වගේම රටේ විවිධ පාර්ශ්ව සමඟ ද සංවාද බොහොමයක් අවශ්‍ය වෙනවා.
ඊට ඔබේ සක්‍රිය දායකත්වය අවශ්‍යයි. අධ්‍යාපනය වැනි විෂයකදී වෘත්තීය වගකීමෙන් එහාට ගිහින් පුරවැසියෙක් ලෙස පුරවැසි වගකීමකින් කටයුතු කරන්න අපට සිදු වෙනවා. එහෙව් අධ්‍යාපනික පරිවර්තනයක ඉතිහාසය ඔබේ අතින් තමයි ලියැවෙන්නේ. ඒ නිසා නිල වගකීමෙන් එහාට ගිහින් කටයුතු කරන්න මා ඔබට ආරාධනා කරනවා.
ඒ වගේම ඔබ දන්නවා මේ වනවිට සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිවීමක් සිදු වීමට නියමිත බව. මම හිතන්නේ සියලු රාජ්‍ය සේවකයන්ට වගේම විශ්‍රාමිකයන්ටත් ඒක විශාල සහනයක් සහ සතුටට කරුණක්. මේ මොහොතට අනුව සියලු අර්බුද සහ ගැටලු කළමනාකරණය කරගනිමින් තමයි මෙම වැටුප් වැඩි වීම ලබාදීමට අපට හැකි වුණේ.
අපි මේ රට භාර ගන්නකොට තිබුණු සමහර සීමා මායිම් තවමත් පවතිනවා. ඒ සියල්ල තවමත් සම්පූර්ණයෙන් ඉවර නැහැ. ඒ සීමා ලිහිල් වෙලත් නැහැ. නමුත් අපි ආණ්ඩුවක් විදිහට තීන්දුවකට ආවා මූලික වැටුප් වැඩිකිරීමක් සිදු කළ යුතුයි කියලා.
සියලු රාජ්‍ය සේවකයන්ට දැනෙන තැනක ඉඳලා තමයි අපි මේ වැටුප් වැඩි කිරීම සිදු කළේ. මෙයින් සියලුම ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ඇත්තක්. නමුත් අවස්ථානුකූලව හැකි හොඳම විසඳුම තමයි අපි ලබා දී තිබෙන්නේ.
පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් තල 10 අතරට ගුරු සහ විදුහල්පති ශ්‍රේණි රැගෙන එන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. කවුරු කොහොම එක එක තැන්වල කතා කිවුවත් ඇත්ත ඒකයි. මම නැවතත් කියන්නේ අපි ඒ කටයුත්ත කරලා තියෙන්නේ.
මුදල් අමාත්‍යාංශය වගේ ම මහා භාණ්ඩාගාරයත් අපට පැහැදිලිව ඒ බව දැනුම් දීලා තිබෙනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ තවදුරටත් ඉදිරියේ දී කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි. ඒ වගේම මේ පද්ධතිය තුළ අවුලක් පවතිනවා කියන එකට අපි සේරම එකඟයි.
කොතනින් හරි එය නිවැරැදි විය යුතුයි. එය ක්ෂණිකව කළ හැක්කක් නොවෙයි. ක්‍රියාවලියක්. හුදු ආණ්ඩුවක් පමණක් මේකට මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ. පද්ධතිය පරිවර්තනයකට රැගෙන යන්නට නම් අප තුළ ද පරිවර්තනයක් සිදු විය යුතුයි. පද්ධතිය කියන්නේ අපි. අපි පරිවර්තනය වුණොත් පද්ධතිය ඉබේම පරිවර්තනය වෙනවා. ඒ සඳහා අධ්‍යාපන කවුන්සිලය අපි නිර්මාණය කර ගනිමු.
එමෙන්ම SLAS නිලධාරීන් සමඟ සාකච්ඡා කරන විට SLES සහ Planning Service ගැන ප්‍රශ්න මතු කෙරෙනවා. Planning Service සමඟ සාකච්ඡා කරන විට අනෙක් සේවාවන් ගැන ප්‍රශ්න මතු වෙනවා. SLES ගැන කතා කළාම SLAS සහ Planning Service ගැන ප්‍රශ්න මතු වෙනවා.
අපිට තියෙන්නේ රට හදන්න. අපිට අදාළ නැහැ සේවය කුමක් ද කියන එක. අපිට වැදගත් දක්ෂ අය කවුද, නිර්මාණශීලී අය කවුද කියන එකයි. එහෙම අය හුඟක් ඉන්නවා. කවර සේවයකින් එන්නේ ද කියන කාරණාව අදාළ නැහැ. අපට අවශ්‍ය මේ ක්‍රමය බිඳගෙන ඉදිරියට එන අයයි. ප්‍රධානම කරුණ මේ මොහොතේ අපට අවශ්‍ය ප්රතිසංස්කරණයක් නොව පරිවර්තනයක් බව අවධාරණය කරගත යුතුයි.
2026 දී සිදු කෙරෙන පරිවර්තනයට ප්‍රධාන කුලුනු 05ක් අපි ඇතුළත් කර තිබෙනවා. විෂය මාලා වෙනස් කිරීම සහ යාවත්කාලීන කිරීම, පුහුණු සහ ධාරිතා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සංවාදයක් සහ සන්නිවේදන කතිකාවක් ඇති කිරීම සහ ඇගයීම් ක්‍රමයේ වෙනස කියන ඒවා එම කරුණු බව අවධාරණය කළ යුතුයි.
අප මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය වසරේ වියදම් කර ඇත්තේ වෙන් කළ මුදලින් සියයට 50ක ප්‍රමාණයක්ය කියන දෙය.
අපට ලැබී තිබෙන මුදල් සියල්ල වියදම් කර මේ පරිවර්තනය සඳහා සක්‍රිය දායකත්වය ලබාදෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා) කේ.කේ.පී. ආරියසිංහ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
a