Wednesday, March 26, 2025
Home » පොල් සහ කටුපොල්

පොල් සහ කටුපොල්

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

පොල් හිඟයට හේතු සොයන විට මනාව වැටහෙන කාරණයක් වන්නේ පසුගිය කාලය තුළ මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණාත්මකව වැඩි වී නොමැති බවයි. ලංකාව ඒක පුද්ගල පොල් පරිභෝජනය වැඩිම රටකි. ශ්‍රී ලාංකිකයෙක් වසරකට පොල් ගෙඩි 114ක් පමණ පරිභෝජනය කරයි. ඒ නිසා ජනගහනයේ වැඩිවීමත් සමඟ පොල් නිෂ්පාදනය ද වැඩි විය යුතුමය. එසේ වුවද වසර 2000 සිට මේ දක්වා කාලය තුළ ලංකාවේ වාර්ෂින පොල් අස්වැන්න ගෙඩි මිලියන 3000ක පමණ පවතිනවා මිස නිෂ්පාදනයේ පැහැදිලි වැඩිවීමක් නොමැත. වසර 2000දී රටේ ජනගහනය මිලියන 18 ට සාපේක්‍ෂව 2024 වන විට පොල් නිෂ්පාදනය අවම වශයෙන් ගෙඩි මිලියන 500 කින් හෝ වැඩි කළ යුතුව තිබිණ. එසේ වුවද සැබවින්ම 2024දී සිදුවී ඇත්තේ අස්වැන්න ගෙඩි මිලියන 700 කින් පමණ පහළ බැසීමයි. නිෂ්පාදනය වැඩි නොවූව ද පොල් ආශ්‍රිත අපනයනයන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ඒ සඳහා අවශ්‍යවන පොල් ප්‍රමාණය ද ගෙඩි මිලියන දහස ඉක්මවා තිබේ. ඒ නිසා අද ඇතිවී ඇති පොල් හිඟයට හේතු වී ඇත්තේ දේශීය පරිභෝජනය සඳහා ඇති ඉල්ලුම සහ අපනයනය වැඩිවී ඇති විටෙක නිෂ්පාදනය අඩු වීමයි.

කේ.කේ.අයි.යූ. අරුණ කුමාර, භෝග විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, 
රුහුණ විශ්වවිද්‍යාලය

කේ.කේ.අයි.යූ. අරුණ කුමාර,
භෝග විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
රුහුණ විශ්වවිද්‍යාලය

මෙයට පිළියම් වශයෙන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වගා කරන භූමි ප්‍රමාණය වැඩි කළ හැකිද? ප්‍රායෝගිකව එය අසීරු කටයුත්තකි. මන්ද ඉඩම් සීමිත බැවිනි. පසුගිය වසර 25ක කාලය සැලකීමේදී පොල් වගා කරන භූමි ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී නොමැත. එය අද වන විට හෙක්ටයාර් ලක්‍ෂ හතරක වැනි සීමාවක පවතී. එම ප්‍රමාණය තේ සඳහා වෙන්කර ඇති ඉඩම් ප්‍රමාණය මෙන් දෙගුණයකි. පසුගිය වසරේදී තේ අපනයනයෙන් ඩොලර් මිලියන 1430ක් උපයාගන්නා විට පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් උපයාගෙන ඇත්තේ ඩොලර් මිලියන 856කි. කෙසේ වුවද සමස්ත පොල් නිෂ්පාදනයෙන් දළ වශයෙන් 2/3ක් පමණම ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදා ගන්නා බැවින් අපනයන ආදායම මතම භෝග සංසන්දනය කළ නොහැකිය.

පොල් යනු වැඩිම ඉඩම් ප්‍රමාණයක වගාකර ඇති වැවිලි භෝගය වුවද ගෘහස්ථ පරිභෝජනය සහ ආහාර කර්මාන්තය සඳහා අවශ්‍ය තෙල් සහ මේදය විශාල වශයෙන් ආනයනය කිරීමට අපට සිදු වී ඇත. වසර 2023 දී ඒ සඳහා වියදම් කර ඇති මුදල ඩොලර් මිලියන 133.9 කි. වසර 1985 දී පොල් තෙල් මෙ. ටොන් 64,000ක් අපනයනය කළ අපට වසර 2023දී පොල් තෙල් මෙ. ටොන් 111,992ක් ආනයනය කිරීමට සිදු වී ඇත. රටේ පොල් තෙල් අවශ්‍යතාවයෙන් දේශීයව නිපදවා ගැනීමට හැකිවී ඇත්තේ 17%ක් පමණි. අප රටට අවශ්‍යවන තෙල් සහ මේදය රට තුළම නිෂ්පාදනය කර ගැනීමට නම් පොල් වගාව අවම වශයෙන් තවත් හෙක්. 200,000 කින් පමණ ව්‍යාප්ත කළ යුතුය.

හෙක්ටයාර් ලක්‍ෂ හතරක පොල් වගාවෙන් දේශීය තෙල් අවශ්‍යතාවයට සපයා ඇති දායකත්වය 17 %ක් තරම් අඩු වුවද හෙක්ටයාර් 10,800 ක් පමණ වූ කටුපොල්වලින් ලබා දී ඇති දායකත්වය 16%ක් තරම්‍ ය. තෙල් භෝග අතුරින් ඒකීය භූමි ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ලබා දෙන භෝගය කටුපොල්ය. එම අස්වැන්න හෙක්. ටොන් 1.9 – 4.8ක් තරම් ඉහළ පරාසයක විචලනය වේ. දේශීය තෙල් අවශ්‍යතාවය කටුපොල්වලින් සපුරා ගන්නේ නම් අවශ්‍ය වන්නේ තවත් හෙක්. 50,000 ක් පමණි. මන්ද කටුපොල්වල තෙල් අස්වැන්න පොල්වල මෙන් සිවු ගුණයක් පමණ වන බැවිනි. පොල් සහ ශ්‍රී ලාංකිකයන් අතර ඇති සංස්කෘතිකමය බැඳීම සහ පොල් ගසේ විවිධ කොටස්වලින් විවිධ වූ ප්‍රයෝජන ලබා ගන්නා නිසා කටුපොල් යනු පොල් වෙනුවට ව්‍යාප්ත කළ හැකි ආදේශකයක් නොවූවද පවතින තත්ත්වය හමුවේ සැලකිල්ලට ගත යුතු විකල්ප අතර මුලින්ම ඇති භෝගයකි..

එසේ වුවද කටුපොල් වගාව යම් ප්‍රමාණයකින් හෝ ව්‍යාප්ත කිරීමට ඇති ප්‍රධානම ගැටලුව වන්නේ එම වගාව පරිසරයට අහිතකර ලෙස බලපාන්නේ යැයි ගොඩනැඟී ඇති සමාජ මතයයි. අතීතයේදී කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම නිසා ස්වභාවික වනාන්තරවලට හානි සිදු වූ බව සැබෑය. එසේ වුවද එය අදාළ වන්නේ ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවලට මිස ලංකාවට නොවේ. ලංකාව සම්බන්ධයෙන් සැලකූ කල වනාන්තර විනාශ කර කටුපොල් වගා කර ඇතැයි සඳහන් කිසිඳු වාර්තාවක් නොමැත. පර්යේෂණ දත්තවලට අනුව 2000 සිට 2013 දක්වා කාල වකවානුවේ දී කටුපොල් වගාව නිසා ලෝක වන ගහනයට සිදුවී ඇති හානිය 0.2%ක් තරම් අඩු අගයකි. ලෝකයේ ප්‍රධානම කටුපොල් වගාකරුවන් මේ වන විට Zero deforestation සම්මුතියකට පැමිණ ඇති බැවින් කටුපොල් නිසා වනාන්තර විනාශ වේය යන්න තවදුරටත් වලංගු සටන් පාඨයක් නොවේ. කටුපොල් වගා කළ පමණින් ජෛව විවිධත්වයට හානි වේ යැයි පැවසීම ද හුදු ප්‍රකාශයක් පමණි. මන්ද පොල් වගාව නිසා ද ජෛව විවිධත්‍වයට හානිවන බව සඳහන් පර්යේෂණ පත්‍රිකා පවතින නිසාය. එලෙසින්ම තෙල් සඳහා වගා කරන අනෙකුත් වාර්ෂික භෝග (උදා: සෝයා වැනි) හා සංසන්දනය කරන විට කටු පොල් වගාබිමක ජෛව විවිධත්‍වය වැඩිය. එක් අධ්‍යයනයකට අනුව කටුපොල් වගා බිමක යටි වගාවේ ශාක විශේෂ 298 ක් සහ කටු පොල් කඳේ පර්නාංග විශේෂ 15 ක් හඳුනාගෙන ඇත. කටුපොල් වගා කළ විට දිය උල්පත් සිඳී යන්නේ නම් ඉන්දුනීසියාව සහ මැලේසියාව මේ වන විට කාන්තාර බවට පත්වී තිබිය යුතුය. ලංකවේ කටුපොල් වගා වපසරිය හෙක්. 10,800 කි. එය මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පිළිවෙළින් හෙක්. මිලියන 5.9ක් සහ 14.5 කි. ලංකාවේ කටුපොල් වගාව ආරම්භ කර දැනට වසර 60 ක් පමණ ගත වී ඇත. මෙම කාලය තුළ කිසිඳු වගා බිමක් ආශ්‍රිතව දිය උල්පත් සිඳීයෑමක් වාර්තා වී නොමැත. රබර් හෝ පොල් වැනි ශාකයක් හා සංසන්දනය කිරීමේදී කටුපොල් ශාකයක් වැඩිපුර ජලය අවශෝෂණය කළ ද වඩා වැදගත් වන්නේ වගා බිම් හෙක්ටයාරයකින් ඉවත් කර ගන්නා ජල ප්‍රමාණයයි. හෙක්ටයාරයක් තුළ ඇති කටුපොල් ශාක ගණන රබර් හෝ පොල් ශාක ගණනට වඩා පැහැදිලි ලෙස අඩු බැවින් මෙම වගා භූමි අතර ජලය අවශෝෂණය සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් නැත. කටුපොල් සම්බන්ධයෙන් ඇති තවත් චෝදනාවක් වන්නේ එය හරිතාගාර වායු විමෝචනයට දායකවන බවයි. හරිතාගාර වායු විමෝචනය සැලකූ විට ඒ සඳහා දායකවන ප්‍රධානම භෝගය වී වගාවයි. ලොව වී වගාව යටතේ ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්. මිලියන 165කි. කටුපොල් වගාව යටතේ ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්. මිලියන 25 කි. ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට ද වැඩිම CO2 ප්‍රමාණයක් විමෝචනය කරන භෝගය වී වගාවයි. වී වගා හෙක්ටයාරයකින් වසරකට විමෝචනය කරන CO2 ප්‍රමාණය ටොන් 4.77 කි. මහ කන්නයේ හෙක්. 800,000 කුත්, යල කන්නයේ හෙක්. 500,000 කුත් වී වගාව යටතේ පවතී. කටුපොල් වගාව ඇත්තේ හෙක්. 10,800 පමණි.

එසේ හෙයින් පොල් නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා පියවර ගන්නා අතර තුරම කටුපොල් වගාව සඳහා ඇති තහනම ක්‍රමයෙන් ලිහිල් කිරීම ද කාලෝචිතය. දැනට ඌන භාවිතයේ පවතින කෘෂිකාර්මික ඉඩම් මේ සඳහා මුදාහැරීම ආරම්භයක් වශයෙන් සුදුසුය. එසේ සැලසුම් සහගත දිගුකාලීන වැඩ පිළිවෙළකට ගමන් නොකරන්නේ නම් පොල් හා පොල් තෙල් ආශ්‍රිත ගැටලුව අනාගතයේදී වඩාත් තීව්‍ර වනු නියතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT