ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් පවතින රාජ්‍යයන්වල පාලකයින් තෝරා පත් කර ගැනීමට යොදා ගනු ලබන මෙවලම ඡන්දයයි. එය ප්රජාතන්ත්රවාදී අයිතියකි. ඉකුත්දා ප්රජාතන්ත්රවාදී අයිතිය භාවිතයට ගනිමින් ජර්මානු ජනතාව තම සුදුසු පාලකයා තෝරා පත් කර ගනු ලැබීය. එහි ඇතුළාන්තය හා ලෝක දේශපාලන ප්රවණතා ආදිය පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා මහතා “DGI Talk” සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණ.
ජර්මනියේ මැතිවරණය බොහෝ ජනතාවගේ අවධානයට ලක් වූ කරුණකි. මෙයට හේතුව වන්නේ ජර්මනිය වූ කලී ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වීමයි. එලෙසම ලෝකයේ බල කඳවුරු ගත් කල, යුරෝපා සංගමය එහි ප්‍රධාන බල කඳවුරකි. එසේම යුරෝපා සංගමයේ ප්රබලතම රාජ්‍යය වන්නේ මෙම ජර්මනියයි. එලෙසම මෙවර ජර්මානු ඡන්දය වැඩි දෙනකුගේ අවධානයට ලක් වූ තවත් හේතුවක් නම් ජර්මානු ඉතිහාසය ගත් කල වැඩිම කාලයක් එනම් වර්ෂ 1945න් පසු ප්‍රධාන පක්ෂ දෙකක් ඔස්සේ එරට පැවතීමයි. එකක් නම් ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂයයි. අනෙක සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයයි. මේ පක්ෂ දෙක හුවමාරු වෙමින් ආණ්ඩු පිහිටුවීම සිදු කරන ලදී. එහෙත් පසුගිය වසර 10 ක පමණ කාලය තුළ ජර්මනියේ එක්තරා වෙනසක් සිදු විය. එනම් ජර්මනිය සඳහා විකල්පය ලෙස අන්ත දක්ෂිණාංශික පක්ෂයක් බලවත් වීමය. මේ අන්ත දක්ෂිණාංශික යනු එක්තරා දේශපාලන මතවාදයක් ගෙනැවිත් එම දේශපාලන මතවාදය ඉතා දැඩි ලෙස ජාතිකවාදය මත පදනම් කරන්නකි. එවිට එරට වැඩි ලෙස සංක්‍රමණිකයන්ගේ පැමිණීමක් ප්‍රිය නොකරයි. එලෙසම එම පක්ෂයේ විශ්වාසය නම් විශේෂයෙන්ම බටහිර රටවල සංක්‍රමණිකයන්ට හා සෙසු අයට වඩා සුදු ජාතිකයින්ට එරට වැඩි අයිතියක් වැඩි උරුමයක් ඇති බවයි.
යුක්රේනය සමඟ හාදවීම
මෙවැනි විශ්වාස පද්ධතියක් ජර්මානු වත්මන් අන්ත දක්ෂිණාංශික පක්ෂයේ පවතියි. පසුගිය කල අමෙරිකාවේ ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ මතය අනුගමනය කරනු දක්නට පුළුවන. එසේම, මේ ඡන්දය ගැන වැඩි වශයෙන් කතා කිරීමට තවත් හේතුවක් වන්නේ මේ පක්ෂය විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවට ජනමත සමීක්ෂණවලදී පැහැදිලි වී තිබීමයි. ඒ අනුව ජනමත සමීක්ෂණවල පැහැදිලි කිරීම සනාථ කරමින් ඡන්ද ප්‍රතිඵලය ද නිකුත් වීමයි. එහෙත් මෙහිදී ආණ්ඩුව පිහිටුවීමට බොහෝ විට හැකියාව ඇත්තේ ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂයටයි. එනම් 28% ක ඡන්ද ප්‍රතිඵලයක් ඔවුන් ලබා ගැනීම නිසාය. එවිට අන්ත දක්ෂිණාංශික පක්ෂය 20%ක ප්‍රතිඵලයක් ගෙන දෙවැනි තැනට පත් වී ඇත. සැබැවින්ම මෙය ප්‍රධාන පක්ෂය නොවුණ ද ප්‍රධාන පක්ෂය හා මේ පක්ෂය අතර ඇත්තේ 8%ක වැනි සුළු වෙනසකි. ඊට අමතරව වැදගත්ම කරුණ වන්නේ පසුගිය ආණ්ඩුවේ පැවැති සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ඡන්දය බරපතළ නාය යෑමක් පෙන්නුම් කිරීමයි. එනම් පෙර පැවති 25% ක ඡන්දය මෙවර 16% දක්වා අඩු වීමයි.
එහිදී මෙම මැතිවරණයේ වඩාත්ම කැපී පෙනෙන්නාවූ නිරීක්ෂණය නම් සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයට බරපතළ පරාජයක් අත් වීම සහ ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂයට වැඩි ඡන්ද ලබා ගැනීමට හැකි වීමය. එහෙත් වැඩි ඡන්ද යනු විශාල ජයග්‍රහණයක් නොවේ. මන්ද, අන්ත දක්ෂිණාංශික පක්ෂයේ ඉතාම වර්ධනයක් සිදුව ඇත. මෙලෙස පැවැති ඡන්දයේ මෙම මූලික හැඩය තීරණයට භාවිත කර ඇති සාධක පිළිබඳ සැලකීමේදී ජර්මනියේ මෙවර මැතිවරණයට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණු කිහිපයක් තිබුණි. එයින් එක් කරුණක් නම් ජර්මනිය පමණක් නොව යුරෝපයේ සහ අමෙරිකාවේ ද බරපතළ ලෙස පවතින ආර්ථිකය සම්බන්ධ ගැටලුවයි. එහිදී 2009 වර්ෂයේ දී මෙම රටවල් බරපතළ ආර්ථික අවපාතයකට මුහුණ දෙන්නට විය. එම ආර්ථික අර්බුදයේ බලපෑම අඩු වැඩි වශයෙන් දැනටත් පවතියි. එලෙසම ජර්මනිය ගත් කල, එහි නිශ්චිතවම සාම්ප්‍රදායිකව ප්‍රධාන කාරණා දෙකක් පැවතුණි. එක් කරුණක් වන්නේ චීනයෙන් සාම්ප්‍රදායිකව භාණ්ඩ ආනයනය කිරීමයි. පසුගිය කාලයේ චීනයේ සිදු වූ වර්ධනයත් සමඟ තවදුරටත් ලාභයට භාණ්ඩ ආනයනය කරන රටක් ලෙස චීනය සැලකීමට නොහැකිය. සෙසු සාධකය නම් බලශක්තිය සම්බන්ධ කාරණයයි. එහිදී ඔවුන් විශාල වශයෙන් රුසියාව මත යැපීමක් සිදු විය. එහෙත් රුසියානු යුක්රේන යුද්ධය ඇතිවීමත් සමඟ ජර්මනිය යුක්රේනය සමඟ එක්වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් රුසියාවට සම්බාධක පනවන්නටත් විය. එම සම්බාධක පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් රුසියාවෙන් ගෑස් වැනි ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිය.
ආර්ථික කඩා වැටීම
ජර්මනියේ එලෙසින් ආර්ථික අර්බුදයක් ඇති වන්නට විය. ඊට සමගාමීව සංක්‍රමණයන්ට විරුද්ධව ප්‍රබල මතවාදයක් ජර්මනිය තුළ මතුවන්නටත් විය. එවිට එහි අන්ත දක්ෂිණාංශික පක්ෂය පවසන කරුණ නම්, ජනතාවගේ ආර්ථිකය ඉතා අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය. ඒ අනුව රටේ ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් උදා වී ඇත. එලෙස පවතිද්දී දහස් ගණන් සංක්‍රමණිකයන් පැමිණ රටෙහි ජනතාවගේ රැකියාවන් උදුරා ගනු ලැබීය. එක්තරා ආකාරයකින් ගතහොත් එයින් ආර්ථික කඩා වැටීමක් ද සිදු විය. එය සාමාන්‍ය මිනිසුන් අත්විඳි ආර්ථික කඩා වැටීමට යම්කිසි ආකාරයක උත්තේජනයක් සැපයීය. එමෙන්ම, එරට දක්ෂිණාංශික පක්ෂය සංක්‍රමණිකයන් වැනි ප්‍රජාවන් පෙන්වමින් එයට විරුද්ධව සාමාන්‍ය ජනතාව සංවිධානය කිරීමක් ද දක්නට පුළුවන. එහිදී මෙවර මැතිවරණයේදී තිබූ එක් ලක්ෂණයක් නම්, මේ සංක්‍රමණ විරෝධී මතය ඉතාම ප්‍රබල ලෙස ඉදිරියට පැමිණීමයි. එම මතය ප්‍රබල ලෙස ඉදිරියට පැමිණෙද්දී, අන්ත දක්ෂිණාංශික පක්ෂය වර්ධනයක් ද පෙන්නුම් කරද්දී, ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂය තීරණය කරනු ලැබුවේ මේ කරුණු ඉදිරියට පැවතුණහොත් තමන්ගේ ඡන්ද බලය අවම වන බවයි. එවිට ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂය කරනු ලැබුවේ අන්ත දක්ෂිණාංශික පක්ෂයේ සංක්‍රමණ විරෝධී මතවාදයේ යම් යම් කොටස් තමන්ගේ වැඩපිළිවෙළටත් ඇතුළත් කර ගනිමින් යම් ආකාරයක සංක්‍රමණ විරෝධී මතවාදයක් ප්‍රවර්ධනය කිරීමයි. එලෙසම ජර්මනියේ අවසන් වරට පැවැත්වූ ඡන්දය සහ මෙවර ඡන්දය සංසන්දනාත්මකව විග්රහ කර බැලුවොත් අවසාන වතාවට ජර්මනියේ ඡන්දයක් පැවැත්වූයේ 2021 වර්ෂයේදීය. එයින් ජයග්‍රහණය කරනු ලැබුවේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයයි. මේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය හරිත පක්ෂය සහ තවත් පක්ෂයක් එක් කරමින් සන්ධානයක් ගොඩනඟන්නට විය. එම නව සන්ධානය පිහිටුවීමේදී සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයට මුළු ඡන්දවලින් 25% ක ඡන්ද ප්‍රතිඵලයක් ලැබුණි.
එහෙත් එම ඡන්ද ප්‍රතිඵලය 16% ක මට්ටමකට මෙවර අඩු වන්නට විය. එසේම අන්ත දක්ෂිණාංශික පක්ෂය ගත් කල ඉකුත් ඡන්දයේදී 10%ක ඡන්ද ප්‍රතිඵලයක් අත්විය. එහෙත් මෙවර මැතිවරණයේදී එය දෙගුණයකින් වර්ධනය වෙමින් 20%ක මට්ටමකට පැමිණ ඇත. තවද ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂය ගත් කල, මෙවර ඡන්දයේදී 20% ක ඡන්ද ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකි වුවද එය කැපී පෙනෙන ප්‍රගතියක් නොවීය. එහෙත් ඒ යම්කිසි ආකාරයක වැදගත් නිරීක්ෂණයක් ලෙස මතු වූයේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයට තිබූ ඡන්ද විශාල ලෙස පහත වැටීමකට ලක්වීමය. එලෙස මේ ඡන්දයට විශේෂ වූ තීරණාත්මක සාධක බලපෑමේදී ප්‍රධාන වශයෙන් තරුණ පිරිස අන්ත දක්ෂිණාංශික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන්නට විය. එලෙසම තවත් කරුණක් නම් ජර්මනිය 1990ට පෙර බටහිර ජර්මනිය සහ නැඟෙනහිර ජර්මනිය ලෙස කොටස් දෙකකට වෙන් වී තිබුණි. එය 1991 දී එකට එක්වන්නට විය. මෙලෙස එකතු වුවද කාලයක් තිස්සේ පවතින ප්රශ්නය නම් ජර්මනියේ බටහිර කලාපයට සාපේක්ෂව දියුණු කලාපයක් වෙද්දී නැඟෙනහිර ජර්මනිය ඊට සාපේක්ෂව යම් ආකාරයකට දරිද්‍රතාවක් දක්නට ලැබීමය. මෙහිදී නැඟෙනහිර ජර්මනියේ ජනතාව විශාල වශයෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ අන්ත දක්ෂිණාංශික පක්ෂයටයි. එයට හේතුව වන්නේ නිරන්තර අන්ත දක්ෂිණාංශික පක්ෂය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට පෙන්වනු ලැබුවේ සංක්‍රමණිකයන් සතුරන් ලෙසය.
සුබසාධන කප්පාදුව
දක්ෂිණාංශයේ විකල්ප ඉදිරිපත් කරනු ලබන අය පැවසුවේ, මේ ප්‍රශ්නවලට හේතුව වන්නේ සංක්‍රමණිකයන්, සුළු ජාතිකයන්, ඉස්ලාම් ආගම අදහන්නන් යන අය ලෙසටයි. වාමාංශිකයන් පවසනු ලැබුවේ ජර්මනිය ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව ඇත්තක් වුවත් එයට හේතුව සංක්රමණිකයන්වත් සුළු ජාතිකයින්වත් ඉස්ලාම් ආගම අදහන්නන්වත් නොව ජනතාවගේ බදු මුදලින් ජනතාවට සුබසාධන සලස්වන සුබසාධන රාජ්‍යයන්ගේ දුර්වල වීම හා සුබසාධන කප්පාදු කර ධනවතුන් සඳහා වැඩි වැඩියෙන් සුබසාධන වැඩිදියුණු කිරීම යන්නයි. මෙම දකුණෙන් සහ වමෙන් යන දෙපැතිකඩින්ම මේ මතවාදයන් සලකනු ලැබුවේ විකල්ප මතවාදයන් ලෙසටයි. එහෙත් මේ මතවාදයන් දෙකම පැමිණෙන්නේ පවතින තත්ත්ව පිළිබඳ කලකිරීමෙන් පසුවන ජනතාවටයි. මෙහිදී දැක ගැනීමට ඇති කරුණ නම් විශාල ලෙස අපේක්ෂාභංගත්වයට ලක් වී ඇති ජනතාව දක්ෂිණාංශයට ඡන්දය ප්‍රකාශ කිරීමයි. එහෙත් වාමාංශික පක්ෂයේ වර්ධනයෙන් පෙන්නුම් කරන කරුණ නම් යම් වෙනස් ආකාරයක පණිවුඩයක් ඉදිරිපත් කිරීමට හැකි නම් ජනතාව දකුණට ඇදී යෑම වළක්වා ගැනීමට හැකි බවයි.

රමිදු පෙරේරා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
නීති අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
මේ ප්‍රතිඵල යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානය තුළ ජර්මනියට ඇති ස්ථාවරත්වයට බලපෑම් කරනු ලබන්නේය. එහිදී නේටෝ සංවිධානය යනු සීතල යුද්ධ කාලයේ බටහිර කඳවුර තමන්ගේ ආරක්ෂාව සඳහා ගොඩනඟාගත් සංවිධානයකි. එය රැඳී ඇත්තේ යුරෝපා සංගමය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධය මතයි. නේටෝ සංවිධානයේ වර්තමානයේ ප්‍රශ්නගත වූ සංසිද්ධිය නම් යුක්රේන යුද්ධයේදී වූයේ රුසියාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යුක්රේනයට සහයෝගය දීමයි. වර්තමානය වන විට අමෙරිකාවේ තත්ත්වය වෙනස් වෙමින් ට්‍රම්ප් බලයට පත් වීමත් සමඟ ඔහු ඉදිරිපත් කළා වූ ප්‍රධානම කරුණ නම් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති විරෝධයයි. එලෙසම ජර්මනිය තුළ ද යම්කිසි ආකාරයකට පසුගිය කාලයේදී යුක්රේන යුද්ධයට ජර්මනිය උදවු කිරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සැකයක් මතු වන්නට විය. මේ කරුණ සම්බන්ධයෙන් අන්ත දක්ෂිණාංශික පක්ෂය ද කරුණු දක්වන්නට වූයේ රට තුළ විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය දී යුද්ධයකට උදවු කිරීම සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීම සුදුසු නොවන බවයි. ජර්මනිය තුළ නව දේශපාලන මතවාදයක් සකස් වෙමින් නව ආණ්ඩුවක් බලයට පත් වන්නට වූයේ එවැනි වටපිටාවකය.
නිසංසලා කොට්ටගස්වත්ත