Saturday, May 3, 2025
Home » නව ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන්න
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ

නව ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන්න

අධිකරණ ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

බුද්ධිකා ඉඹුලාන

සිරකරු තදබදය දැඩිව පවතින පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට පෙරේදා (05) උපදෙස් දුන්නේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (05) පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මේ වන විට 2500ක් පමණ රැඳවූවන් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර, එම සංඛ්‍යාව රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක් පමණ වන බව ද මෙහිදී අනාවරණය විය.

මේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ද ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“රැඳවූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගකීමක්. එනිසා නව බන්ධනාගාර ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න. බන්ධනාගාරගතව සිටින පුද්ගලයකුට අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඒ අනුව කටයුතු කරනවා හැර සමාජයේ ජීවත්වෙන වෙනත් අයට මෙන් හඬ නඟා ඉල්ලීම් කිරීමේ හැකියාවක් නෑ.

බන්ධනාගාරගතව සිටින රැඳවූවන්ගේ සියලු පහසුකම් පිළිබඳව විමසිලිමත් විය යුතුයි. අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීමට ක්‍රියා කළ යුතුයි. මෙවර අය-වැයෙන් මේ ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙනවා. 2028/12/31 වැනි දින මේ ව්‍යාපෘතිය අවසන් කළ යුතු වුවත් එදිනට පෙර එහි වැඩ කටයුතු අවසන් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඉදිකිරීම් කටයුතුවලට කිසියම් පුද්ගලයකු හෝ රෙගුලාසියකින් බාධා එල්ල වන්නේ නම් අධිකරණ ඇමැතිවරයා වශයෙන් මට හෝ අමාත්‍යාංශයේ ලේකම්තුමියට දන්වන්න. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපි කටයුතු කරනවා. පසුගිය කාලයේ මේ රටේ සිටි පාලකයන් නිසි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් රට ආපස්සට ගියා. නමුත් නිවැරදි තීන්දු තීරණ ගැනීමෙන් රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව පවතින බව අපි විශ්වාස කරනවා.”

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයේෂා ජිනසේන මෙණෙවිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT