රජයේ රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීම වෙනුවෙන් පොරොත්තු ලේඛනවල රැඳී සිටිමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජයමුණි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
ඒ අනුව රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්, බයිපාස් සැත්කම් සහ විකලාංග සැත්කම් සඳහා දිගු පොරොත්තු ලේඛනවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධ වැඩසටහනක් දියත් කරනවා.
ලබන වසර සඳහා අපට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම අපි දැනටමත් අවසන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට මෙය සිදුවන්නේ. සාමාන්‍යයෙන් ඖෂධ ආනයනය කිරීමට මාස නවයක් ගතවෙනවා. ඉදිරියේදී ඇතිවන ඖෂධ හිඟය සාකච්ඡා කිරීම සඳහා අපි සෑම සතියකම සමාලෝචන රැස්වීමක් පවත්වනවා. පෙර මිලට වඩා බෙහෙවින් අඩු මිලකට, ඖෂධ 4ක් මිලදී ගැනීමෙන් අපි රුපියල් මිලියන 1750ක් ඉතිරි කර තිබෙනවා. ඊට අමතරව, ඉමියුනොග්ලොබුලින් එන්නත් කුප්පියේ මිල මීට පෙර රු. 120,000කට මිලදී ගත් අතර එය දැන් රුපියල් 30,000කට මිලදී ගන්නවා . මෙම ප්‍රසම්පාදනයෙන් අපි රජයට රුපියල් මිලියන 200ක් ඉතිරි කර තිබෙනවා. සෙෆලෙක්සින්වල මිල මීට පෙර රුපියල් 570ක් වූ අතර දැන් අපි එය රුපියල් 70කට මිලදී ගත්තා.
ශ්‍රී ලංකාවේ මිල පාලන කමිටුවක් තිබුණත්, මිල පාලන යන්ත්‍රණයක් තිබුණේ නැහැ. දැනට මේ සම්බන්ධයෙන් අධිකරණ නඩුවක් පවතින බැවින්, පෞද්ගලික අංශයේ මිල පාලනය කිරීම දුෂ්කරයි. අපි මිල පාලන යන්ත්‍රණය සකස් කර ගැසට් කරනවා. ඉන්පසු එය අධිකරණයට ඉදිරිපත් කරනවා. එවිට අපට පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල පාලනය යෙදිය හැකිය.