ආණමඩුව කොට්ටුකච්චිය හා අවට ගම්මානවල සැරිසරමින් නිවාස වනසා දමා වී සොයන තනි අලියා සතියක් තුළදි නිවාස හයකට පහර දී බරපතළ හානි සිදුකර ඇති බව ජනතාව පවසති.
මෙම තනි අලියා පෙරේදා (5) අලුයම කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ගම්මානයට කඩා වැදී නිවාස තුනකට පහර දී නිවෙස්වල ගබඩා කර තිබූ වී උර රැගෙන ගොස් ඇති බවද ගම්වාසීහු පවසති. එම නිවෙසට 5 දින අලුයම තනියා පහර දී බිත්ති පෙරළා දමා වී උර පැහැර ගනිද්දී 65 හැවිරිදි නිවෙස් හිමියා වන ගාමිණි තිලක මහතා පමණක් නිවෙස තුළ සිට ඇති බවත් සද්දන්තයා විදුලි ආලෝකයෙන් දැක දැඩි ලෙස බියට පත්වී යටිගිරියෙන් කෑගසා නිවෙසේ නිදි යහන යටට රිංගා දිවි බේරා ගෙන ඇති බව කියයි.
ජනතාව පවසන්නේ මෙම තනියා අඩි නවයකට ආසන්න උසකින් යුතු සද්දන්තයකු බවත් මෙම නිවෙසට පහර දී වී උර රැගෙන ගොස් එය ගිල දමා තවත් නිවාස දෙකකට ද පහර දී බිත්ති පෙරළා වී රැගෙන ගොස් ඇති බවයි.
මෙම තනියා දින කිහිපයකට පෙරද කොට්ටුකච්චිය කච්චිමඩුව ගම්මානයට මෙලෙසම කඩා වැදී නිවාසවලට පහර දෙමින් බිත්ති කඩා ගබඩා කර තිබූ වී උර රැගෙන ගොස් ඇති බවද ජනතාව පවසති.
මේ හේතුවෙන් මේ දිනවල තම නිවෙස්වල ගබඩා කර ඇති වී හා නිවාස ආරක්ෂා කර ගැනීමට මහත් පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බව ජනතාව පවසති.