මේ දිනවල සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබෙන වනජීවී සමීක්ෂණය එහි, අරමුණු සහ එය ක්‍රියාත්මක කරන ආකාරය එම සමීක්ෂණය සඳහා මහජන සහභාගීත්වය සහ නිලධාරි දායකත්වය සහ සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵල පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) තාරක ප්‍රසාද් මහතා සහ කෘෂි බෝග සඳහා හානි පමුණුවන වන සතුන් ගණනය කිරීමේ ජාතික කමිටුවේ සාමාජික සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ඒ. එල්. සන්දික මහතා දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකැසුණි.
මෙරට ආර්ථිකය තවමත් අර්බුදයෙන් මුළුමනින් මිදී නැත. එසේම, එහි සැලකිය යුතු භූමිකාවක් සංචාරක කර්මාන්තය හා බැඳේ. සැබැවින්ම විදේශිකයෝ මෙරට පරිසරයට අතිශය කැමැත්තක් පෙන්වති. ජෛව විවිධත්වය එයින් ප්‍රධාන තැනක් ගනියි. වන සතුන් දැක ගැනීමට ජාතික වනෝද්‍යාන ඇතුළු දුරබැහැර ප්‍රදේශවල සැරිසැරීමට ඔවුහු අතිශය කැමැත්තක් පෙන්වති. ඒ ඇසුරින් මෙරටට විදේශ විනිමය බොහෝ සෙයින් ලැබේ. ඍජුව සහ වක්‍රව මෙරට සංචාරක කර්මාන්තය ඇසුරින් දිවි රැකගන්නෝ බොහොමයකි. එය එසේ තිබියදී තවමත් මෙරට කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් වන හානි පිළිබඳ නිතර අසන්නට ලැබේ. ගෙවත්තේ ගුණදායී එලවළු, පලතුරු හිඟවීමේ පටන් නිවෙසේ බත් මුට්ටිය පැහැරගෙන යෑමෙන් ද නොනැවතී ජාතික තලය දක්වාම විවිධාකාරයෙන් සතුන්ගෙන් වන වගා හානි අද මෙරටට බරපතළ මාතෘකාවකි. මේ ගැටලුවට පිළිතුරක් සෙවිය යුතුමය. එහි පළමු පියවර කෘෂි බෝග සඳහා හානි පමුණුවන වන සතුන් ගණනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.
ගැටලුවට පිළියම් සෙවීම

මහාචාර්ය ඒ. එල්. සන්දික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි

තාරක ප්‍රසාද් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වනජීවී සෞඛ්‍ය
ඒ අනුව වගාවට බොහෝ සෙයින් හානි කරන සතුන් පිළිබඳ සමීක්ෂණයක අවශ්‍යතාව මෙරටට තදින්ම දැනේ. වන අලින් පිළිබඳ සංගණනයක් කළ ද, වගා හානි කරන සතුන් පිළිබඳ මෙවැන්නක් වාර්තා නොවේ. එහෙත් මෙරට පමණක් නොව ලෝකයේ වෙනත් රටකින් හෝ එවැන්නක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත. එළැඹෙන 15වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා වන මිනිත්තු 5ක කාලයකදී සරල මෙන්ම වගා හානි කරන සතුන් ගණනය කිරීමේ මූලික කටයුත්තක් වශයෙන් එය ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව කටයුතු යොදා තිබේ. මෙහිදී රිළවා, වඳුරා, අළු වඳුරා, දඬුලේනා, මොනරා ආදී සතුන් පිළිබඳ මූලික වශයෙන් අවධානය යොමු කෙරේ. දැනට වාර්තා වන අයුරින් මෙරට වගාවන්ට සහ ජන ජීවිතයට වඩාත් බලපෑම් එල්ල කරන වන සතුන් අතර මේ සතුන් පිළිබඳ නිතර අසන්නට දකින්නට පුළුවන. මේ ඇතැම් සතුන් ආරක්ෂිත ගණයට අයත් වන අතර, එසේ නොවන සතුන් ද ඒ අතර වෙයි. ඒ කෙසේ වෙතත්, සමහර රටවල් මෙවැනි සතුන් මරා දමමින් මෙවැනි ගැටලුවලට පිළියම් සෙවීමට පෙලඹුණු අවස්ථා ඇත. එහෙත් අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද නීතිරීති අනුව පමණක් නොව මානුෂිකත්වය, සදාචාරය ආදිය සැලකිල්ලට ගත්විට ද එය එසේ කළ යුතුම නැත. ඒ සඳහා විකල්ප විද්වත්හු පෙන්වා දෙති.
මේ අනුව ගැටලුවක් පිළිබඳ තීරණ ගැනීමේදී එහි ප්‍රමාණය, ගැඹුර, වටපිටාව ආදිය පිළිබඳ මුලින් නිසි පරිදි වටහාගැනීම වැදගත්ය. එහෙත් එවැනි විධිමත් දත්ත පද්ධතියක් මෙතෙක් බහුලව වගා හානි කරන මේ සතුන් පිළිබඳ නොවේ. එහෙත් ඒ අඩුව සපුරා ගැනීමේදී දියුණු රටවලින් ලද හැකි ආදර්ශ වෙයි. එහෙත් වියහියදම් අධික එම ක්‍රමවේද ඇතුළත් විදෙස් තාක්ෂණය ආදියත්, යොදා ගනිමින් අතිවිශාල ජාතික ධනයක් ඊට වැය කරමින් ක්‍රියාත්මක කළ හැකි වුවද මෙරට ආර්ථික අපහසුතා ඇති මෙකලට එය උචිත නොවේ. ඒ සඳහා අඩු වියදමින් සංගණනයක් කරමින් මේ ගැටලුවට ස්ථිර පිළියම් යෙදීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ අයුරින් ප්‍රජා දායකත්වයන් ඒ කෙරෙහි යොමුවීම මේ සමීක්ෂණයෙන් සිදු කෙරේ. සැබැවින්ම එය විද්‍යාත්මක පදනමක් සහිත වන්නකි. අදාළ මිනිත්තු 5ක කාලයකදී ජනතාව, ග්‍රාම නිලධාරීන් දෙන දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජාතික පද්ධතියකට එක්කර ගැනේ. ඒ අනුව බැලුව ද මෙය අඩු වියදම් සාර්ථක සමීක්ෂණයක් මිසක කිසිසේත් අපතේ නොයන්නකි. මෙහි දත්ත ඇසුරින් ගම්බදට වන්නට මේ සතුන්ගේ පීඩාවෙන් නිතිපතා දුක් විඳින සහෝදර ජනතාවගේ සුබසිද්ධිය පිණිස ඉදිරි පියවර ගැනීමට රජය සැලසුම් කර තිබේ. එසේම, එළවළු, පලතුරු, පොල් අස්වනු ආදිය අඩුවීමට කෙළින්ම මේ සතුන්ගේ ක්‍රියාකාරීත්වය බලපා ඇති බව සමීක්ෂණ ඇසුරින් හෙළිදරව් කරගෙන ඇත. මෙයින් ඒ ගැටලුව බහුල ප්‍රදේශ සිතියම්ගත කිරීමේ පටන් ඊට පිළියම් යෙදීමට අවශ්‍ය කරන මූලික කටයුතු ද සැලසුම් කෙරේ.
එසේම, මිනිත්තු 5ක කාලයකදී මෙය කළ හැකිදැයි ඇතම්හු විමසති. එහෙත් ගොවීන්ගේ කාලය ඉතිරි කර දෙමින් එකම සතකු දෙවරක් ගණනය නොවනු පිණිස මේ කටයුතු සැලසුම් කර තිබේ. පියඹා හෝ ගස් මතින් ඉහළින් ගෙවත්තට එන මේ සතුන් මිනිත්තු 5ක කාලයකදී එම සතුන් දෙතැනක නොරැඳෙනු ඇත. මේ අනුව ග්‍රාම නිලධාරීන් මඟින් දෙන කාඩ්පතේ එන තොරතුරු සරලව පුරවා දීමෙන් මේ ජාතික කර්තව්‍යයට මෙරට ජනතාවට දායක විය හැකිය. එය ගොවි ජනතාව ඇතුළු මුළු රටටම ගැටලුවක්ව පවතින වන සතුන්ගෙන් වගා බිම්, ගෙවතු වගා රැකගැනීමේදී ඉතා වැදගත්ය. ඇතැමුන් මේ ජාතික කර්තව්‍ය පටු වාසි තකමින් සැහැල්ලුවට සලකන වග ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳ පළ කරන අදහස් අනුව පෙනේ. එහෙත් සැබැවින්ම මෙහි වැදගත්කම අවබෝධ කර ගනිමින් මහජනතාව මේ ජාතික වගකීම ඉටු කරනු පිණිස කුඩා කාලයක් වෙන් කරනු ඇත.
සැබැවින්ම මෙහිදී කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදී රජයේ ආයතන ගණනාවක්ම මේ කෙරෙහි දායකත්වය දක්වයි. ඒ අනුව ජාතික වගකීමක් ලෙස සලකා මේ කටයුත්තට මෙරට සියලු දෙනා දායක වන්නැයි අප ඉල්ලා සිටිමු.’
මහජන සහභාගීත්වය
මෙම සමීක්ෂණය සඳහා යොදාගනු ලබන්නේ ගෙවතු හිමියන්ය. තමන්ගේ යහපත වෙනුවෙන් විනාඩි පහක් යොදා ගැනීම කළ යුතුය. අප රටේ ජනතාව වෙත මෙය නුහුරු දෙයකි, තවත් පිරිසක් රටට යහපතක් සිදු කරනු වෙනුවෙන් සිදු කරනු ලබන මෙම ජාතික වැඩපිළිවෙළ දේශපාලන කෝණයකින් බලා උපහාසයට ලක් කරති. එහෙත් බ්‍රිතාන්‍යය වැනි රටවල මෙවැනි මහජන සහභාගීත්ව සමීක්ෂණ සහ සංගණන සිදු කෙරේ.
සතුන්ගේ සංචරණ රටා පිළිබඳව සමීක්ෂණය තුළදී වැරදි තොරතුරු ලබා දී සමීක්ෂණ දත්ත විකෘති කිරීමට කිසිවකු උත්සාහ කළහොත් එම වැරදි තොරතුරු ලබා දෙන ස්ථානය සහ පුද්ගලයා පිළිබඳව අපට පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන.
මෙම සමීක්ෂණය සඳහා වඩාත් දියුණු ක්‍රමයක් වන ස්මාර්ට් ඇප් එකක් භාවිත කිරීමට හැකියාව තිබුණද එය භාවිතයේදී ඇතිවිය හැකි ප්‍රායෝගික අපහසුතා සලකා බලා, පත්‍රිකා යොදා ගන්නා සාමාන්‍ය ක්‍රමය අනුගමනය කරනු ලබයි. මෙම කාර්යය සඳහා මහජන සහභාගීත්වය යොදා ගන්නා අතර ග්‍රාම නිලධාරීන්, ඇතුළු ග්‍රාමීය ක්ෂේත්‍ර නිලධාරීන් යොදා ගනු ලබන්නේ මෙම කාර්ය සම්බන්ධීකරණය සඳහාය. එහෙත් මෙහිදී නිලධාරීන් යොදා ගැනීම පිළිබඳව ද ඇතැමුන් දේශපාලන ඇසකින් බලා විවිධ ආකාරයේ ප්‍රචාරයන් රැගෙන යාම කනගාටුවට කරුණකි. ඇත්තෙන්ම වන සත්ත්ව සමීක්ෂණය යනු දේශපාලන ඇසකින් බලා කටයුතු කිරීම නොව ජාතික වැඩපිළිවෙළක් ලෙස සලකා කටයුතු කිරීමය.
උදිත ගුණවර්ධන
නුවන් මහේෂ් ජයවික්‍රම