ගම්පහ අකරවිට වාහන ස්ටිකර් වැඩපළක හිමිකරුවකුට සහ එහි සේවකයකුට තුවාල ගෙන දෙමින් පෙරේදා (08) සවස එල්ලවූ වෙඩි ප්‍රහාරය මාකිලන්ගමුවේ සංජීව නොහොත් ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස සිදුවූවක් බවට සැක කරන තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. තුවාලකරුවන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළේය.
වාහන ස්ටිකර් ආයතනයේ හිමිකරු සංජීවගේ ඝාතන කොන්ත්‍රාත්තුව මෙහෙයවූ බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැති අයගේ සමීපතමයෙක් බැවින් ඔහුව ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.
සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් ලෙස හඳුනාගෙන ඇති ඩුබායි හී සිටින දිනේෂ් නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම පාතාල ක්‍රියාකාරිකයෙක් වන තම්මිට සුමිත් විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.