කොටහේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව සඟවා ඇති ආයුධ පෙන්වීම සඳහා කාක දූපතට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි වැදී මිය යෑම සම්බන්ධයෙන් සිදු කෙරෙන මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය ලබන 14 වැනි දින සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා පසුගිය 7 වැනි දින මට්ටක්කුලිය පොලීසියට නියෝග කළේය.
පසුගිය 21 වැනිදා යතුරුපැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනකු කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර පසුව එම සැකකරුවන් සඟවා ඇති ආයුධ පිළිබඳව පොලීසියට ප්‍රකාශ කර ඇති අතර සැකකරුවන් දෙදෙනා සමඟ එම ආයුධ පරීක්ෂාවට පොලිස් නිලධාරීන් කාකදූපත වෙත ගොස් තිබුණි.
එම අවස්ථාවේදී ඇති වූ සිදුවීමක් හේතුවෙන් එම සැකකරුවන් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූ බව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය. නඩුව කැඳවූ අවස්ථාවේදී මට්ටක්කුලිය පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි.
ඒ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ, සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී වෙඩි වැදී මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් විය යුත්තේ අදාළ විමර්ශනයට ගිය විමර්ශන නිලධාරීන් බවයි.
සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ පවා පළ වූ බැවින්, සැකකරුවන් අනාවරණය කර ගනිමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර සිටියේය.
ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ විභාගය මාර්තු 14 වැනි දිනට නියම කළ අතර සාක්ෂිකරුවන් අනාවරණය කරගෙන මරණ පරීක්ෂණය සාක්ෂි විභාගය එදිනට කැඳවීමට කටයුතු සම්පාදනය කරන ලෙසට පොලීසියට නියෝග කළේය.