- අත්අඩංගුවට ගත් බස් රියැදුරා උසාවිය හමුවට

යතුරුපැදිය
එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ගම්මැද්දේ වනරොද දෙසින් හිරු පායා එමින් තිබිණි. හිරු රැසින් අතු ඉති අග පිනිබිදු එකිනෙක වියැකී යන්නට විය. ඒ සොබාදහමේ නොතිර බව පසක් කරමිනි.ඈ, “සඳරේඛා සුබෝධනී”ය. හිමිදිරි උදෑසන අවදිව පළමුවෙන්ම කළේ සිය මුහුණු පොතේ අපූර්ව සටහනක් තැබීමය. “මා නැවත උපදින ආත්මයක් වේ නම්, සම්බුද්ධ ශාසනය පවතින රටකම ජන්ම දායාදය ලැබීමට හේතු වාසනා වේවා” ඒ ඇගේ මුහුණු පොතේ තැබුණු සටහනයි. එය දෛවෝපගතව තැබූ සටහනක් බව ඇය නම් කිසිදා සිතන්නට නැත. ඉකුත් සෙනසුරාදා (08) වතුසුදු මල් දෝතක් නෙළාගත් ‘සඳරේඛා“ බුදු පුදට තබා පහන් දැල්වුවාය. උදෑසන හත පසුවී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම සිය පියාගේ යතුරුපැදියේ නැඟී ගැටදිවුල නිෙවසින් ඇය අනුරාධපුරය බලා පිටත් වුවාය. එය සුපුරුදු ගමනකි. බාහිර උපාධි අපේක්ෂිකාවක ලෙස සෙනසුරාදා දිනයේ අනුරාධපුරයේ පැවැත්වෙන උපකාරක පන්ති වෙත ඇය පැමිණෙන්නේ කලක් තිස්සේය. එදත් එවැනි දිනයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඇගේ පියා බොහෝවිට සෙනසුරාදා දිනයේ ද රැකියාවට පිටත්ව ගියේය. පියා රැකියාවට යනවිට ඔහු සමඟ පන්තිවලට සහභාගිවීමට අනුරාධපුරයට පැමිණීම ඇය පුරුද්දක් කරගෙන සිටියාය.

අනතුර කළ බස් රිය
එදින නිෙවසේ අබලන්ව තිබූ රූපවාහිනී යන්ත්‍රය ද අලුත්වැඩියා කරගෙන ඒමට අනුරාධපුරයට රැගෙන යෑමට ඇගේ පියාට සිදුව තිබිණි. කැඩුණු රූපවාහිනිය ද ඇගේ උකුලේ විය. නිෙවසින් නික්මුණු ඔවුහු තලාව නගරය පසුකර ඇල්ල පාරේ ශ්‍රාවස්තිපුර නගරයට පැමිණියහ. වේලාව උදෑසන අටට ආසන්න විය. ඔවුන් පසුපස මාරයා එන බව සඳරේඛා හෝ ඇගේ පියා දැනසිටියේ නැත. නොයෙක් නොයෙක් අපේක්ෂා ඇත්තන් සමඟ නේක වාහන මහමඟ ඉගිළ ගියේය. ශ්‍රාවස්තිපුර හන්දිය පසුකර තවත් මීටර් තුන්සියයක් පමණ ඔබ්බෙන් වූ පහේ ඇළ පසුවෙත්ම පසුපසින් පැමිණි මාරයා ඔවුන් වෙත තවතවත් ළංවෙන්න විය. ක්ෂණයකින් ඔවුන් පසුපසින් ගල්නෑව නගරයේ සිට අනුරාධපුරය බලා වේගයෙන් පැමිණි පෞද්ගලික බස් රථය යතුරුපැදියේ ගැටී ඇත්තේ කුමක් සිදුවූවාදැයි සිතීමට හෝ ඉඩක් නොතබමිනි. අනපේක්ෂිතව සිදුවූ අනතුරින් යතුරුපැදියෙන් ඉවතට විසිවූ සඳරේඛා මාර්ගය මැදට ඇදවැටුණාය. ඇය අත වූ අබලන් රූපවාහිනී යන්ත්‍රය සියල්ලට වේගයෙන් ඉදිරියට ඉගිළ ගියේය.ඇගේ පියා මාර්ගය පසෙකට විසිවී ගියේය.තවත් මොහොතකදී තුරුණු ජීවිතයක අපේක්ෂාව රතු වර්ණයෙන් මහමඟ තෙත් කර නොනැවතී ගලා ගියේය. අනතුරින් බරපතළ තුවාල ලැබූ සඳරේඛා කඩිනමින් අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවද ඒ වනවිට ද ඇයගේ අවසන් සුසුම් පොද නිහඬ වාතලය හා මුසුවී තිබිණි. තුවාල ලැබූ ඇගේ පියා වන 47 වියැති “හේමන්ත රුක්මන් කුමාර ගුණදාස” මහතා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. විසි වියැති ඩබ්ලිව්.එම්.සඳරේඛා සුබෝධනි ගැටදිවුල ගම්මානයට ආසන්නයේ පිහිටි කිරලෝගම සුබෝධි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, එප්පාවල සිද්ධාර්ථ ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනය ලැබුවාය.උසස් පෙළින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු කිහිපයක් මදිවීම හේතුවෙන් බාහිර උපාධිය හදාරමින් සිටියදී මේ අවාසනාවන්ත ඉරණමට ඇය ගොදුරු වූවාය. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ සඳරේඛා ගමේ කා අතරත් හොඳ හිත දිනූ දැරියකි. ගමේ යෞවන සමාජයේ ද ඇය ක්‍රියාකාරී සාමාජිකාවකි. ආගම දහම කෙරෙහි දැඩි ළැදියාවකින් පසුවූ ඇය අනපේක්ෂිතව දිවි හැර යනවිට රැකියාවක ද නිරතව සිටියාය.
අනතුර සිදුවූ ශ්‍රාවස්තිපුර හන්දිය දැන් නිහඬය.ගැටදිවුල ගමේ “සඳරේඛා” නමින් කොඩිවැල් එල්ලී හමාරය.බස් රථ රියැදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අනුරාධපුර පොලීසිය සඳහන් කළේය.
ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව, තොරණේගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි බස් රථ රියැදුරා අත්අඩංගුවට ගත් බවත් මේ සැකකරු ඊයේ (09) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවත් පොලීසිය සඳහන් කළේය.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සශික කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන්වරුන් වන සෝමසිරි (56656), ධර්මතිලක (47844) නිලධාරීහු මේ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.