අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන් මිලිලීටර් 180 බෝතලය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලින් පසු වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර ආදායමක් ලබාගත හැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ. සියයට විසිපහක සැර මට්ටමකින් මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟද මේ වන විට සාකච්ඡා කර ඇත.
සියයට 96.2ක මට්ටමෙන් නිපදවන ස්ප්‍රීතු වෙනුවට සියයට 85 මට්ටමේ නව ස්ප්‍රීතුවලින් කසිප්පුවලට වඩා හිතකර මත්පැන් නිෂ්පාදනයන් මෙලෙස නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගියදා පැවැති රජයේ මුදල් කාරක සභාවේදීද දන්වා ඇත. මීට අදාළ යෝජනාව දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
මේ වන විට වැඩිම පරිභෝජනයක් පවතින මිලිලීටර් 180 කාල බෝතලයක් වශයෙන් සියයට විසිපහේ සැර මට්ටමකින් මෙම මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කරන බවත්, පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලාවල එතනෝල් ගොඩගැසීමේ ප්‍රශ්නයටද මෙමඟින් විසඳුමක් ලැබෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ‘දිනමිණ’ට පැවසීය.
නීති විරෝධී මත්පැන් තවදුරටත් නියාමනය කරන විට දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් වැඩි කළ හැකි යැයිද හෙතෙම පැවසුවේය.