කිලිනොච්චිය පලෙයි ප්රදේශයේ ළිඳක තිබී පසුගිය දා (08) හමු වූ ගුරුවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පලෙයි පොලීසිය කියයි.
තම ඥාති සහෝදරිය කිසියම් අයකු හෝ පිරිසක් දූෂණය කර මරා දමා ළිඳට දමන්නට ඇතැයි සැකයක් ඇතැයි කියමින් මියගොස් සිටි ගුරුවරියගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කළ බවද පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව සිටියේ පලෙයි, වෙම්පඩිකේනි හි පදිංචි 54 හැවිරිදි තවරසසිංහම් සරස්වතී නමැති ගුරුවරියකි.
ඇය දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බවට ඇගේ ඥාතීන් පොලීසියට පැමිණිලිකර තිබී ඇති අතර, දින කිහිපයකට පසුව ගම්මානයේ ළිඳක තිබී දැඩි ලෙස නරක් වී තිබූ ඇගේ මළ සිරුර හමුව ඇතැයි වාර්තා වෙයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත යවා ඇත.