සමස්ත ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියෝ පත්වීම පිළිබඳ සැකසුණු ලිපියකි මේ.
1946 වර්ෂයේ ඔක්තෝම්බර් 01වැනිදා දකුණු ලක නිල්වලා ගං තෙරේ ගැමි සුවඳ විහිදුවන මාතර කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ නම් සුන්දර ගමෙහි දොන් සාදිරිස් අබේවික්‍රම වීරමන් හා ඇම්.වී. අබේවික්‍රම නම් දම්පතීන් යුවළකට තුන්වන දරුවා ලෙස මෙලොව දායාද කළ පින්වත් කුමරෙකි. සුපින්වත් කුල කුමරු වයස අවුරුදු දහතුනේ දී සියලු සැපසම්පත් හා වංශවත් පෙළපත ආදී සියල්ල ම අතහැර දා එවකට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිපාණන් වහන්සේගේ සෙවණට පත්විණි. අනතුරුව උගත මනා බණ දහම් හැදෑරූ කුල කුමරුවාණෝ වර්ෂ 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද ලබනුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති යන පැවිදි නාමයෙනි.
මහනාහිමිතුමන්ගේ සෙවණෙහි වැඩ සිටිමින් සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය හා ඉංග්‍රීසි ආදී භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය විෂයන් පිළිබඳ මූලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේගෙන් උගත්හ. පසුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව ශ්‍රී සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යයම ආදී විභාග මැනවින් සමත් කරගත්හ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ සාමාර්ථ සහිතව විශේෂවේදී උපාධිය ලබා එම විශ්වවිද්‍යාලයේ ම දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළහ. අනතුරුව 1971 ජූලි මස 17 වැනි දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනයේදී අතිගරු අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු, පරම පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. උන්වහන්සේ සිය ගුරුදේවයන් වහන්සේගේ ඉල්ලීම පරිදි බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති ධුරය භාරගත්හ. එතැන් පටන් ආයතනයේ භෞතික හා ගිහි පැවිදි මානව සම්පත දියුණු කරමින් වසරින් වසර සබරගමු පළාතේ පමණක් නොව ලංකාවේ ම අධ්‍යාපන සංවර්ධන අංශයේ ඉහළ ස්ථානයක් ලබාදීමට සමත් විණි. අතිගරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අතර සූජීවත්ව වැඩසිටින ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස අප කතා නායකයන් වහන්සේ තුන්හෙළයේ ම කාගේත් ගෞරවයට පාත්‍ර වනු ඇත. මේ නිසා ශාසනික වශයෙන් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනය හා අප නාහිමිපාණන් වහන්සේගෙන් ආගමික, ජාතික, ශාසනික, අධ්‍යාපනික සහ සංස්කෘතික වශයෙන් සිදුවන සේවය අපරිමිතය. ඒ නිසාම උන්වහන්සේ වෙත තනතුරු ගලා ආවේ ය. රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක පදවියෙන් පිදුම් ලැබූ උන්වහන්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලබයි. අන්තර් ආගමික උපදේශකවරයකු මෙන් ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජීකවරයෙක් ලෙස අනභිභවනීය සේවයක නිරතවෙමින් සිටියි. ආගමික ක්ෂේත්රයෙහි මෙන්ම අධ්‍යාපනික කටයුතු කෙරෙහි විශේෂ දක්ෂතාවක් ඇති උන්වහන්සේ සබරගමු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස දිගුකලක් සේවය කළ අතර ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සක්‍රිය දායකත්වයක් ලබාදෙනු ඇත.
නිරන්තරව උන්වහන්සේ සිදුකරනු ලබන ආගමික, ජාතික, ශාසනික හා ආධ්‍යාත්මික ක්‍රියාවලියට දක්වන ධෛර්යය, කැපවීම නිවැරදි නායකත්වය හා අවංක ප්‍රතිපදාව ඉතා අගනේය. ඍජු හා සුපටිපන්න ගුණෝපේත ගුණයෙන් යුත් අප නාහිමිතුමන් ප්‍රදේශයේ ඇති උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආරම්භයට මුල්ගල් තැබීමට පවා සෙත්පිරිත් දෙසමින් ආශිර්වාද කළ අතර විශ්වවිද්‍යාලයේ සිදුවන සුවිශේෂී සෑම කටයුත්තකට ම සහභාගි වන්නේ අධ්‍යාපනික මෙහෙවර අත්නොහරිමිනි.
උන්වහන්සේ විසින් ලියැවුණු පොත්පත් රාශියක් ඇත. සූත්‍රාගත කරුණු ඉතා ලිහිල් බසින් මෙන්ම සරල සුගම බස්වහරක් යොදමින් එළිදැක්වීම ගිහි පැවිදි කාගේත් ධර්ම ඥානයට මහත් රුකුලකි. බෞද්ධ මෙන් ම ජාතික පුවත්පත් සඟරා ආදියට නිරන්තර ලිපි ලේඛන සපයමින් සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නේ යහපත් ජීවන සමාජ වටපිටාවක් සකසා ගැනීමට ජනතා සිත්සතන් සුපෝෂණය කරමිනි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ධුරය හොබවමින් ශාසනෝන්නතියට දීර්ඝ කාලයක් කැපී පෙනෙන සේවයක් ඉටු කළහ. ශාසනික හා අධ්‍යාපනික වශයෙන් තනතුරු නිරන්තරව ලැබෙනුයේ උන්වහන්සේ තුළ ඇති අවංකභාවය කාර්යශූරත්වය එඩිතර බව හා නිහතමානී ගතිගුණ නිසාවෙනි.
2004 ඔක්තෝම්බර් 20 වැනි දින අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක පරම පූජනීය ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මහනාහිමිතුමන්ගේ අපවත්වීමෙන් අනතුරුව අප නාහිමිපාණන් වහන්සේ ස්ව නිකායික මහානායක තනතුරට නිතරඟයෙන් පත්වූහ. දීර්ඝ කාලයක් ස්ව නිකායික මහා සංඝරත්නයේ පමණක් නොව සමස්ත ලංකාවේ ම ගෞරවාදරයට පත් අප කතා නායකයන් වහන්සේ සමස්ත ලංකා අරපුර සංඝ සභාවේ ගරු සභාපති පදවියෙන් පිදුම් ලැබූහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය අප නාහිමිපාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වසනීයත්වය හා ගෞරවය නිසාම නොයෙකුත් ගෞරව නාම සම්මුති පිරිනමන්නට විය. ඒ අතර ආනන්ද මෛත්‍රෙය මහා වංසාවතංස, මහෝපාධ්‍යාය, ප්‍රවචන කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද පරියප්ති ශාසන ධර්මධ්වජාග්ර, ශ්‍රී සුගත ශාසන වංසාලංකාර සද්ධර්ම විභූෂණ යන ගෞරව නාම සුවිශේෂී විය. සමස්ත අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් සම්භාවනාවට පාත්‍ර වූ පරම පූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
-ශාස්ත්‍රපති කොස්ගම විනීතජීව හිමි