කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයට විරුද්ධව ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ලෝක කාන්තා දිනය වෙනුවෙන් දේශයේ ජීවනාලිය බඳු කාන්තාවන් වෙනුවෙන් පිදෙන අභිමානයේ උත්තමාචාරය වන “ලක්වනිතා අභිමානි” සම්මාන උලෙළ අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (08) මේ බව පැවසීය.
රටේ කාන්තාවන් සමස්තයක් ලෙස සමාජයේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන පසුබිමක් තුළ දර්ශක දෙස බලනවිට ශ්රමබළකා සහභාගිත්වය තුළ අපේ රටේ කාන්තාව සිටින්නේ සීමාසහිත කොටසක බවත්, දළ වශයෙන් එය 34%ක් බවත් දියුණු ලෝකයේ රටවල කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය 46% දක්වා වැඩි බැවින් රැකියා හා ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ කාන්තා සහභාගිත්වය අවම ඇයි කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ බහුතරය කාන්තාවන් වුවත් පුරුෂ පාර්ශ්වය කේන්ද්‍ර කරගත් රටාවන්, ව්‍යුහයන් අද රටේ ප්‍රධාන තැනක් ගෙන ඇති බවත් පුරුෂ කේන්ද්‍රීය ව්‍යුහය තුළ කාන්තා පාර්ශ්වයට බොහෝ අවස්ථාවල දී ඉස්මතු වීමට ඇති ඉඩ සීමාසහිත බවත් අප රටේ කාන්තාවන් බොහෝ අවස්ථාවල දී ආපදා, ව්යවසනවලදී, නිෙවසේදී, මහමඟදී වැඩබිමේදී බහුවිධ හිංසනයන්ට ලක්වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සැමරුම් රැසක් පැවැත්වෙන මේ මොහොතේ මෙවැනි දිනයක් තුළ අප සමාජයේත් රාජ්යතන්ත්රයේත් ඉන් පිටතත් කාන්තාවන්ට සිදුවන අයුක්තිය, අසාධාරණය හඳුනාගෙන දින වකවානු, කාලසටහන් සහිතව එම අසාධාරණයන් ඉවත් කරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.