උසස් මානව ගුණාංගවලට යෑමට ගැහැනිය පිරිමියාටත්-පිරිමියා ගැහැනියටත් ගරු කළ යුතුයි
ඇමැතිනි සරෝජා පෝල්රාජ්
ගැහැනිය ලෙස පිරිමියාටත් පිරිමියා ලෙස ගැහැනියටත් ගරු කරන සමාජය තුළ උසස් මානව දර්ශනවලට යා හැකි බවත් ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතු බවත් කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) ප්‍රකාශ කළාය.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.
“අද වනවිට සමාජ සාරධර්ම මෙන්ම එකිනෙකාට ඇති ගරුත්වය පවා අඩු වී ඇති අතර උසස් මානව ගුණාංග වැඩිදියුණු කිරීම උදෙසා සියලු දෙනා කැපවිය යුතුයි. එමෙන්ම අද වනවිට ඉපැයීම් හා ආර්ථික ක්‍රියාවලියේදී කාන්තාව දැවැන්ත දායකත්වයක් දුන්නද ප්රතිලාභ ලබා ගැනීමේදී සිටින තැන පිළිබඳ අර්බුදයක් තිබෙනවා.
අපගේ රට ලෙස ගත්තත් ලෝකය ලෙස ගත්තත් වැඩ බිමේදීත් අරගල කරන්නට කාන්තාවන්ට සිදු වෙනවා. තම දරුවන් වෙනුවෙන් කිරි පැයේ අයිතිය ඇතුළු විවිධ අයිතීන් වෙනුවෙන් වෙහෙසෙන්නට කාන්තාවන්ට සිදු වෙනවා. අන්න එවැනි වෙහෙසක් දරලා තමයි අයිතීන් දිනා ගැනීමට කාන්තාවන්ට සිදු වුණේ. ඒ ආකාරයට තමයි කාන්තා දිනය පවා නිර්මාණය වුණේ. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් දෙන කාන්තාව ආර්ථිකයේ ප්රතිලාභ ලබනවිට සිටින්නේ කොතැනද යන ගැටලුව තිබෙනවා. අන්න ඒ නිසා තමයි ස්ත්‍රීපුරුෂ සමාජභාවය වෙනුවෙන් අය-වැය සම්බන්ධයෙන් පවා අවධානය යොමු කරන්නට සිදුව තිබෙන්නේ” යැයි ද කීවාය.
ගැහැනු දරුවන් අධ්‍යාපනයේ කුසලතා දක්වද්දී පිරිමි දරුවන් ඉන් බැහැර වෙමින් පවතිනවා
අගමැතිනි හරිනි අමරසූරිය
අද වනවිට ගැහැනු දරුවන් අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ කුසලතා දක්වමින් ඉදිරියට යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු විය හැකි වුව ද ඊට සාපේක්ෂව පිරිමි දරුවන් අධ්‍යාපන අවස්ථාවන්ගෙන් බැහැර වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) ප්‍රකාශ කළාය.
අගමැතිවරිය මේ බව ප්‍රකාශ කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
“ස්ත්‍රී – පුරුෂ සමාජභාවීය තත්ත්වයන් ගැන කතා කරන විට අද ගැහැනු දරුවන් සිටින තැන ගැන අපි සතුටු වෙනවා. නමුත් තවත් ප්‍රශ්නයක් තිබෙනවා. පිරිමි දරුවන් අධ්‍යාපන අවස්ථා තුළින් ඈත්වෙනවා. ඒ ඔස්සේ නිර්මාණය වන අර්බුද රැසක් තිබෙනවා. පොතපත පමණක් නෙවෙයි. සියලු දේවල් ඉගෙනගත යුතුයි.
අද මෙතැන සිටින කාන්තාවන් ඇතුළු අපිට ගිය අවුරුද්දේ මාර්තු 08 වැනිදා පොල්දූව මංසන්ධිය ඉදිරියේදී අරගල කරන්නට සිදුවුණා. මට එදා නැවත පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණේ හොඳටම වතුරින් තෙතබරිත වෙලා. ඊට අදාළ නඩුවට සාක්ෂි දෙන්න පවා මම ගියා. මට තිබුණු චෝදනාවක් තමයි මල් පෝච්චි පෑගුවා කියන එක. ඒ අරගල හරහා තමයි අපි ගොඩක් මෙතැනට අද ඇවිත් ඉන්නේ. ඉතින් මම සතුටු වෙනවා, කාලයක් තිස්සේ පෙනී සිටි දේවල් හරහා මෙතැනට ඇවිත් කටයුතු කරන්න පුළුවන් වීම ගැන. ඒ නඩුව තවමත් විමසනවා. මොකද අගමැති වුණාට පසුවත් මගෙන් සාක්ෂි විමසුවා. මල් පෝච්චි පෑගීම තමයි වරද. අපි කාලයක් පුරාවට පෙනී සිටි දේවල් හරහා මෙතැනට එන්නට පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.” යැයි ද ඇය කීවාය.
කාන්තාවට ගරු කරන සමාජයක් බිහිකිරීම ගෙදරින් ඇරඹිය යුතුයි
ඇමැති හර්ෂණ නානායක්කාර
දරුවන්ට කායික දඬුවම් සිදු කිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කිරීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) ප්‍රකාශ කළේය.
දරුවන්ට සිදු කරන කායික දඬුවම් තහනම් කිරීම වෙනුවෙන් මේ වනවිට පනත් කෙටුම්පතක් සකස් වී ඇති අතර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා පැවසීය.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීතියෙන් විතරක් කොළවල ලියලා මේ අයිතිය තහවුරු කරන්න පුළුවන් ද? මේ ආකල්ප හැදෙන්නෙ කොයි කාලෙ ද? ළමා කාලේ. එතකොට ළමයාගේ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොම ද? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවට ගරුසරු ඇති කරන සමාජයක් බිහිවෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙම නම් නීතිරීතිත් හදමු, ව්‍යවස්ථාත් හදමු. නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම තමන්ගේ පිරිමි ළමයාට ඉගැන්නුවා නම් කාන්තාවට ගරු කරන්න පොඩි කාලෙදී. මම හිතන්නේ පරම්පරාවක් දෙකක් වැඩිහිටියෝ වෙනකොට කාන්තාවගේ ආරක්ෂාවට නීති වෙනුවට සමාජයේ පිරිමි ඉදිරිපත් වෙන සමාජයක් ඉදිරයේදී නිර්මාණය කරන්න පුළුවන්” යැයි ද කීවේය.
ඉදිරියේදී බස් රියැදුරුවරියන් දුම්රිය නියාමකවරියන් දකින්න ලැබේවි
අමාත්‍ය බිමල් රත්නායක
ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කාන්තා දිනය නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවත් පාසල් බස් රථ ද කාන්තාවන්ට භාරදීමේ සිහිනයක් ඇති බව ද ඇමැතිවරයා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී බස් රථ රියැදුරුවරියන්, දුම්රිය නියාමකවරියන් පවා දැකගත හැකිවනු ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
“කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා ලංකා ගමනාගමන මණ්ඩලයට ඒ වගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳවා ගන්න. බස් රථ රියැදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලාගන්න පුළුවන් වේවි. කාන්තා දිනය වෙනුවෙනුයි මේ තීරණය ගත්තේ. ඒ වගේම සිහිනයක් තිෙයනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න යැයි” ද කීවේය.
කාන්තා හා ළමා අයිතිවාසිකම් රටේ මූලික නීතියක් කළ යුතුයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
කාන්තා හා ළමා අයිතිවාසිකම් රටේ මූලික නීතියක් බවට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
“එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව ලංකාවේ බහුමාන අවදානම් තත්ත්ව හා දර්ශක තිබෙනවා. අප රටේ පුද්ගලයන් 10න් 6ක් බහුවිධ අවදානමට ලක්වෙනවා. සමාජයේ වැඩිම අවදානමකට ලක්ව ඇති කණ්ඩායම වන්නේ දරුවන් හා කාන්තාවන්. ආපදා අවස්ථාවලදී, වසංගතවලදී නිවෙසේදී, වැඩබිමේදී, මහමගදී ආදී සෑම අවස්ථාවකම කාන්තාව හා දරුවා බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙනවා.
උපාධි අපේක්ෂකයන් බඳවා ගැනීමේදී 64.7%ක් කාන්තාවන් වුවත් ශ්‍රම බළකායේ ඉන්නේ කාන්තාවන් 32%යි. ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් තනිවම භාවිත කිරීමට හැකියාව ඇත්තේ කාන්තාවන්ගෙන් 54%කටයි. ඩිජිටල් අධ්‍යාපනයට ප්‍රවේශය වැඩි පිරිමි ළමයින්. අධිකරණ ක්ෂේත්රයේ, අභියාචනාධිකරණයේ විනිසුරුවන් 15 දෙනා තුළ එක කාන්තාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අගවිනිසුරුවරිය ඇතුළුව සිටින 17න් තිදෙනකු පමණක් කාන්තාවන්. ”යැයි ද කීවේය.
25%ක කාන්තා නියෝජනය පළාත් සභා-පාර්ලිමේන්තු මැතිවරණවලටත් ගේන්න
මන්ත්‍රී දයාසිරි ජයසේකර
ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා වන සියයට 25ක කාන්තා නියෝජනය පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද ගෙන එන ලෙසට යෝජනා කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසීය.
ඒ සඳහා විපක්ෂය ලෙස දිය හැකි උපරිම සහාය දෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
“සෑම පස් දෙනකු අතරින් තුන් දෙනකු කිසියම් හෝ ලිංගික හිංසනයකට වැඩබිම තුළදී ලක් වෙනවා. මාර්ග තුළදීත් ලිංගික හිංසනයට ලක් වෙනවා. ශ්‍රම බළකායට කාන්තා දායකත්වය තවමත් තිබෙන්නේ සියයට 33ක් පමණ. එය ප්‍රමාණවත් නැහැ. 227,002ක් කාන්තාවන් වතු අංශය නියෝජනය කරමින් ශ්‍රම බළකායට සම්බන්ධව සිටිනවා. වතු අංශයේ ආදායම් ලබාදීමේදී ඔවුන් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. කාන්තාවන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය සඳහා යොමුව සිටිනවා. කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉහළ තැනකට තල්ලු වෙමින් සිටිනවා පිරිමින්ට වඩා. සියයට 57.2ක් ගෘහ අංශයේ කාර්යන්වල නියැළෙනවා. කාන්තාවන් සඳහා වූ ජාතික අරමුදල ශක්තිමත් කිරීමට ද පියවර ගත යුතුයි” යැයි ද කීවේය.
සාක්ෂරතාවයේදී කාන්තාව ඉදිරියෙන්: නමුත් ශ්‍රම බළකායේදී පසුපසින්
මන්ත්‍රිනි චමින්ද්‍රාණි කිරිඇල්ල
කාන්තාවන්ගේ සාක්ෂරතාව සියයට 93ක් වුවත් ශ්‍රම වෙළෙඳපොළට පිවිසීම පිරිමින්ට වඩා අඩු බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසුවාය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට කාන්තාවන් හසුව සිටින බවත් ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
“1970 මාර්තු 08 වැනිදා ලෝක කාන්තා දිනය එක්සත් ජාතීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කළා. එදිනට මේ විවාදය යෙදවීම ගැන සතුටට පත් වෙනවා. මේ සභාවේ සිටින කාන්තා මන්ත්රීවරියනට, පාර්ලිමේන්තු මහලේකම්වරියට, පාර්ලිමේන්තුවේ සේවය කරන සියලු කාන්තාවන්ට මෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ට සුබ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙරට ලක්ෂ 14ක් පමණ සිටින්නේ අවුරුදු 5ට අඩු දරුවන්. අවුරුදු 5ට අඩු දරුවන්ගේ මොළයේ වර්ධනය ඉහළයි. අවුරුදු 5ට අඩු දැරියන්ගේ මන්දපෝෂණය ඉහළයි. ඒ දැරියන්ගේ කුරුවීම සියයට 10.3ක්, කෘශ වීම 10.8ක්, අඩු බර 17.1ක් වෙනවා. එය හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙවර අය-වැයෙන් මිලියන 3200ක් දරුවන්ගේ ආහාර වෙනුවෙන් වෙන් කර තිබෙනවා. මේ වයස් කාණ්ඩයේ දරුවන්ට ප්‍රෝටීන බහුල ආහාර දිය යුතුයි. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි” යැයි ද කීවාය.
විදෙස්ගත කාන්තා ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුපක්
මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ
විදෙස්ගත ශ්‍රමික කාන්තාවන්ට දායක විශ්‍රාම වැටුපක් දීමට මෙවර අය-වැයෙන් යෝජනා කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසුවාය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
“2023 වසර වනවිට 100,876ක් ලෙස කාන්තාවන් විදෙස්ගත වීම සියයට 33ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024 වනවිට 93,808ක් ගෘහසේවිකාවන් ලෙස විදේශගතව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 29.9ක්. මැදපෙරදිගට තමයි වැඩිපුරම යන්නේ. 2021 වසරේදී ප්‍රේෂණ ලෙස මැදපෙරදිගින් මුළු විදේශ ප්‍රේෂණයන්ගෙන් සියයට 51.7ක් ලැබී තිබෙනවා. විදේශ ප්‍රේෂණ එවන ගෘහසේවිකාවන්ගේ ගැටලු තිබෙනවා. මිනිස් ජාවාරම් ලෙස හසුව ඔවුන් හැමතැනම විකිණෙනවා. නිශ්චිත පුහුණුවක් ඇතිව සේවාදායකයකු එක්ක ඇති වූ ගිවිසුමකින් විදේශගත වන්නේ නම් ඒ ගැටලු අඩුවෙනවා. කාන්තාවන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස්ගත කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වෙනවා. මෙරට කාන්තාවන්ගේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මුදල් ලබාදීමක් අපි කරනවා. ” යැයි ද කීවාය.
ව්‍යවසායකත්ව සංවර්ධනයෙන් කාන්තාව සවිබලගැන්විය යුතුයි
මන්ත්‍රිනි ගීතා හේරත්
කාන්තා ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් දීම සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුවෙන් සැලකිය යුතු මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රිනි ගීතා හේරත් මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසුවාය.
කාන්තාවට අහිමිව තිබෙන සංස්කෘතික ජීවිතය ඇයට දීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
“කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී මීට පෙර තිබූ විවාදයන්ට වඩා සාධනීය බවක් දක්නට ලැබෙනවා. අපට වසර පහක කාලයක් තිබෙනවා. ඒ කාලය තුළ දැනට තිබෙන සාධනීය මට්ටමකින් ඉදිරියේදී වැය ශීර්ෂ ඉදිරිපත් කරන්න පුළුවන් කියා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමැතියි. මේ ලෝකය පවතින්නේ හිරුගේ කිරණින් සහ මවගේ මවුකිරිවලින් කියා මැක්සිම් ගෝර්කි ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අවස්ථාවක කාන්තාව මීට වඩා ශක්තිමත් කළ යුතුයි. ඉදිරියේදී ඒ සඳහා වැඩසටහන් ගණනාවක් සකස් කර තිබෙනවා. ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාව සවිබලගැන්විය යුතුයි. ඒ සඳහා අය-වැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවාÓ යැයි ද කීවාය.
ශක්තිමත්ම කාන්තා නායකත්වය මේ සභාවට අපි ගෙනාවා
නියෝජ්‍ය ඇමැති නාමල් සුදර්ශන
ඉතිහාසයේ කවරදාකටත් වඩා ශක්තිමත් කාන්තා නායකත්වයක් මේ සභාව තුළට ගෙනඒමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසීය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“මුල් ළමාවිය සංවර්ධනය යන විෂය ඉතිහාසය තුළ වැඩි අවධානයක් යොමු කර තිබුණේ නැහැ. නමුත් අපේ ආණ්ඩුවෙන් ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා. පෙර පාසල් ක්ෂේත්රය තුළ පමණක් නොව ඊට අඩු වයස් දරුවන් ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. අවුරුදු පහට අඩු දරුවන් තුළ තමයි වැඩිපුරම මොළය වර්ධනය වන්නේ. 17,000ක් පමණ පූර්ව ළමාවිය සම්බන්ධ මධ්‍යස්ථාන රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ දරුවන් සඳහා රුපියල් 60ක ආහාර වේලක් සඳහා මීට පෙර ආණ්ඩුවලින් මුදල් වෙන් කර තිබුණා. එය රුපියල් 100ක් දක්වා ඉහළ නැංවීමට අපේ ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. දරුවන් 150,000කට පමණ මේ මුදල් වෙන් කර තිබෙනවා. පෙර පාසල්වල හඳුනාගත් ප්‍රශ්න ක්‍රමිකව විසඳීමටත් අපි පියවර ගෙන තිබෙනවා” යැයි ද කීවේය.
ඉදිරි වසර 5 තුළදී කාන්තාවට හිමි නිසි තැන දෙනවා
මන්ත්‍රිනි හසාරා ලියනගේ
සමාජය තුළ කාන්තාවට ලැබිය යුතු ස්ථානය ඉදිරි වසර පහ තුළදී ලබාදීම වත්මන් ආණ්ඩුවේ ඉලක්කය බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනි හසාරා ලියනගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) පැවසුවාය. කාන්තාවගේ අභිමානය ප්‍රශ්න නොකරන තැනට මේ සමාජය ගෙනායුතු බවත් කාන්තාව සතුටින් සිටින්නේ නම් සමාජයම සතුටින් සිටින බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
“ලෝක කාන්තා දිනය යෙදී තිබෙන අද වගේ දිනක මේ සභාව තුළ කතා කිරීමට ලැබීම ගැන හරිම සතුටුයි. කාන්තා දිනය යනු සැමරීමක් පමණක් නෙවෙයි. කාන්තාවන්ට තිරසර ජීවිතයක් ගොඩනැඟීමට නම් මූල්‍ය ස්ථාවරයක් ඇයට තිබිය යුතුයි. කාන්තා මූලික ගෘහ ඒකක සවිබලගැන්වීමට අපේ ආණ්ඩුවෙන් පියවර ගෙන තිබෙනවා. ගෘහ ආදායම් හා සමීක්ෂණ වාර්තා අනුව අද වනවිට සියයට 30ක පමණ සංඛ්‍යාවක් කාන්තාව මෙරට ආර්ථිකයට දායක වෙනවා.” යැයි කීවාය.
පිරිමින්ගේ ලෝකයේ කාන්තාව පුංචි චරිතයක්
මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවිරත්න
පිරිමින්ගේ ලෝකය තුළ කාන්තාව පුංචි චරිතයක් බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පෙරේදා (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
“ආගමක්, ජාතියක්, රටක්, දේශයක් නොමැතිව සමස්ත ලෝකය තුළම ගෘහස්ථ හිංසනය සිදුවන අතර ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාව එම හිංසනයට ලක් වන්නේ අනෙක් පාර්ශ්වයේ ගැටලුවක් නිසා මිස කාන්තාවගේ ගැටලු නිසා නොවෙයි. ගැහැනු ළමයින් සියයට 90ක් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට ලක්වන අතර වාචික හිංසනයට ද ලක්වෙනවා. මේ කිසිවකට වැරදිකරුවන් වන්නේ කාන්තාවන් නොවේ. සෑම කාන්තාවන් 05දෙනකුගෙන් කෙනෙක් තම සමීප සහකරුවාගේ කායික හෝ ලිංගික හිංසනයට ලක්වෙනවා.
කාන්තා දිනය දවසේත් පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ගේ කාලය වැඩිපුර වියදම් කළා. මේ සියල්ල පිරිමින්ගේ ආකල්පවල ගැටලුවක්. නීති හදන” ක්‍රියාත්මක කරන තැන්වල ඉන්න අයගේ ගැටලුවක්. 2022 වසරේ විතරක් ස්ත්‍රී දූෂණ 1986ක්. දළ වශයෙන් දිනකට වාර්තා වන දූෂණ 05ක්. වාර්තා වන ස්ත්‍රී දූෂණවලින් සියයට 87ක වින්දිතයන් වන්නේ වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන්. 2023 අවුරුද්දේ අවුරුදු 16ට අඩු ගැබ්ගැනීම් 163යි. 2024 එය 213ක්. 213 ඇතුළෙ ඉන්නවා අවුරුදු 10ක ගෑනු ළමයකුත්” යැයි ද කීවාය.