ලංකා ගමනාගමන මණ්ඩලයේ පොලොන්නරුව ඩිපෝවට අයත් වැලිකන්දේ සිට ගල්කන්ද දක්වා ගමන් කරන බස් රථයේ රියැදුරු සහ රිය සහායක බීමතින්, වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරයේ වැටී සිටීම හේතුවෙන් වැලිකන්දේ සිට ගල්කන්ද දක්වා ගමන් කිරීමට බස් රථයක් නොමැතිකමෙන් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට පෙනී සිටි සිසුන් සහ මඟින් පිරිසක් පෙරේදා (08) වැලිකන්ද පොලීසියේ ජීප් රථයකින් රැගෙන යෑමට කටයුතු කෙරිණි.
ගල්කන්ද ප්‍රදේශයට, වෙනත් කිසිදු බස් රථයක් ගමන් නොකරන අතර එම ප්‍රදේශයේ ජනතාවට ගමන් කිරීමට තිබූ එකම බස් රථය මෙය වේ.

විවේකාගාරය තුළ සිටින කොන්දොස්තර
එම බස් රථයේ කොන්දොස්තරවරයා විවේකාගාරයේ සිටියදී රියැදුරු, බස් රථයේ යතුර ද දමා පැනගොස් ඇති බවද, ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
මෙම බස් රථය වැලිකන්ද නගරයෙන් ගල්කන්ද ප්‍රදේශයට සවස දෙකයි තිහට පිටත්වීමට නියමිතව තිබූ අතර රියැදුරු සහ බස් රථයේ කොන්දොස්තරවරයා බීමත්ව සිටීම නිසා අවස්ථා දෙකකදී මගී ජනතාවට එම ප්‍රදේශයට යෑමට සහ වැලිකන්ද නගරයට ඒමට නොහැකි වූ බව ද පොලීසිය පවසයි.
මෙම සිද්ධිය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයකට මනම්පිටිය විද්‍යාලයට ගොස් ආපසු වැලිකන්ද නගරයට පැමිණි මුස්ලිම් සිසුන් පිරිසකට නිවෙස් වෙත යෑමට, ප්‍රමාද වීමෙන් ඉස්ලාම් ආගම ඇදහීමේ කටයුත්ත ද බස් නැවතුම්පොළේ සිදු කිරීමට සිදුවු බව වාර්තා වේ.
අනතුරුව පොලිස් කැබ් රථය මඟින් සිසුන් ඇතුළු මගීන් 25 දෙනෙකු වැලිකන්ද, ගල්කන්ද හා කුඩාපොකුණ ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කෙරිණි.
වැලිකන්දේ සිට ගල්කන්ද දක්වා ධාවනය වන එකම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා බීමත්ව සිටි සිද්ධිය පිළි සම්බන්ධයෙන් ඊයේ (09) ගල්කන්දේ සිට වැලිකන්ද නගරයට පැමිණීමට බස් රථයක් නොමැතිවීම හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටියහ.
මේ වනවිට එම බස් රථය වැලිකන්ද පොලිස් ක්‍රීඩාංගණයේ ගාල්කර තිබෙන අතර රජයේ දේපළක් නිසා එම බස් රථය පොලිස් භාරයේ තැබීමට කටයුතු කර තිබෙන බව ද වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
අප මේ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ පොලොන්නරුව ඩිපෝ අධිකාරි ප්‍රේමසිරි ගුණවර්ධන මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු කීවේ එම සිද්ධිය සම්බන්ධව පොලීසියට පැමිණිල්ලක් යොමු කිරීමට කටයුතු කර ඇති බවත්, රියැදුරු සහ කොන්දොස්තර බීමත්ව සිටිනවා ද නැද්ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත්, එම දෙදෙනාගේ ක්‍රියාකලාපය සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
වැලිකන්ද ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී පැවසුවේ, රාත්‍රියේ දී එම දරුවන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව උදෙසා පොලිස් කැබ් රථයකින්, ඔවුන් ගම්වලට රැගෙන යාමට කටයුතු කළ බවත්, පොලොන්නරුව ඩිපෝවෙන් කළ පැමිණිල්ලට අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි. රියැදුරු සහ බස් කොන්දොස්තරවරයා පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති බව ද හෙතෙම පැවසීය.