ඉවුම් පිහුම් සඳහා යොදාගෙන භාවිතයෙන් ඉවත් කරන ලද තෙල් තොගයක් නැවත පිරිසිදු කොට වෙළෙඳපොළට නිකුත් කිරීමට කොළඹ ප්‍රදේශයේ සිට පොලොන්නරුව ලක්ෂ උයන කර්මාන්තශාලාවකට රැගෙන එමින් සිටි පෞද්ගලික පොල්තෙල් කර්මාන්තශාලාවක කළමනාකාරවරයකු ඇතුළු තිදෙනකු පෙරේදා (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අරලගංවිල විශේෂ කාර්ය බළකාය සහ තමන්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
කොළඹ සිට පොලොන්නරුව ලක්ෂ උයන කර්මාන්තශාලාවක් දක්වා හාල්කුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම තෙල් තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කර තිබූ අතර ඉන් තෙල් බැරල් 33ක් මින්නේරිය විශේෂ කාර්ය බළකාය මඟින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ලොරි රථයේ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් එවැනි තවත් පොල්තෙල් බැරල් 35ක් ලක්ෂඋයන කර්මාන්තපුරයේ ශාලාවක සඟවා තිබෙන බවට තොරතුරු අනාවරණය කිරීමත් සමඟ එහි තිබූ තෙල් බැරල් තිස්පහද අරලගංවිල විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම බැරල් 68 තුළ භාවිතයෙන් ඉවත් කරන ලද තෙල් ලීටර් 12,240ක් තිබූ බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
භාවිතයෙන් ඉවත් කරන ලද එම තෙල් තොගයේ සාම්පල්, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාගෙන රජයේ රස පරීක්ෂක කාර්යාල වෙත යැවීමට ද නියමිතය.
අත්අඩංගුවට ගන්න ලද මෙම නීති විරෝධී තෙල් තොගය හා ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථය මෙන්ම ඊට සම්බන්ධ කළමනාකාරවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා දහවැනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු අරලගංවිල විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරගෙන යනු ලබති.