Wednesday, March 26, 2025
Home » මනු­ෂ්‍ය­ත්වය පිරි සමා­ජ­යක් ගොඩ­නැ­ඟිය හැක්කේ ආග­මික වට­පි­ටා­ව­කින් පම­ණයි

මනු­ෂ්‍ය­ත්වය පිරි සමා­ජ­යක් ගොඩ­නැ­ඟිය හැක්කේ ආග­මික වට­පි­ටා­ව­කින් පම­ණයි

ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පිය­තුමා

by Gayan Abeykoon
March 12, 2025 4:02 pm 0 comment

ආත්මා­ර්ථය තුළින් අන් අයව පීඩා­වට හෝ දුකට පත්ක­ර­මින් ධනය, බලය සහ නිල­තල ගනි­මින් සමා­ජයේ බහු­ත­ර­යක් ගමන් කරන්නේ කුමන දිශා­ව­ක­ට­දැයි සොයා බැලීම වටී. එහෙත් අපේක්ෂා කළ හෝ නොකළ අය­කුට උදවු කිරී­මෙන් මිනිස් ජීවි­ත­යට ලබා­ගත හැකි වටි­නා­කම් බොහෝය. එසේම,  අනෙකා කෙරෙහි සුබ­වාදී හැඟීම් වර්ධ­නය වීමෙන් මාන­සික පීඩාව අවම වී සතුට ඇතිවේ. එවැනි යහ­ගුණ පිළි­බඳ කිතුනු දහ­මින් විග්‍ර­හ­යක් කිරී­මට අපි දැන්  ආචාර්ය සිරිල් ගාමිණී පිය­තුමා සමඟ කතා­බ­හ­කට පිවි­සෙමු.   

 

උදවු උප­කාර පිළි­බඳ කිතුනු දහමේ කිය­වෙන්නේ කෙසේද?

ක්‍රිස්තුස් වහන්සේ සිය  අනු­ගා­මි­ක­යන්ට දුන් ප්‍රධාන ආඥාව මන­සි­නුත් හද­ව­ති­නුත් සහ තම­න්ටත් අන් අය­ටත් ප්‍රේම­ක­රනා ලෙසයි. ප්‍රේමය තුළ මිනි­සකු තුළ මනු­ෂ්‍ය­ත්වයේ විවිධ පැති උද්දී­ප­නය වී එතු­ළින් උදවු උප­කාර, සහ­යෝ­ගය නිර­න්ත­ර­යෙන්ම ක්‍රියා­වට නැඟෙ­නවා.

එසේම, ප්‍රේමය යනු කිතුනු දහමේ පද­න­මයි. යමකු කිතු­නු­වකු වන්නට නම් එම පුද්ග­ලයා භෞතිස්ම ස්නාප­නය විය යුතුයි. එහෙත් කෙනෙකු එසේ භෞතිස්ම ස්නාප­නය වූ පම­ණින් කිතු­නු­වකු වන්නේ නැහැ.  එම පුද්ග­ලයා ප්‍රායෝ­ගි­කව කිතු­නු­වකු වන්නට නම් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ මාර්ගයේ පිහිටා කට­යුතු කළ යුතුයි. ඒ සඳහා ඔහු හෝ ඇය කිතු දහමේ පද­නම වන ප්‍රේමය සිය ජීවි­ත­යට එක්ක­ර­ගත යුතුයි.

දෙවි­යන් වහ­න්සේට ප්‍රේම කරන්න, ඔබට මෙන්ම ඔබේ අස­ල්වැ­සි­යා­ටත් ප්‍රේම කර­න්නැයි ක්‍රිස්තුස් වහන්සේ වදාළා.  මනු­ෂ්‍ය­යන් ලෙස මුලින් තමන්ට ආද­රය කරන්න. තමන්ට ආද­රය නොකර අන් අයට ආද­රය කළ නොහැ­කියි. ප්‍රේමයේ, ආද­රයේ වටි­නා­කම හරි­හැටි දැනෙ­න්නට නම් මුලින් තම­න්ටම ආද­රය කරන්න. එය ආත්මා­ර්ථ­කාමී බව යැයි එයින් හැඟ­වෙන්නේ නැහැ.  තමාට ප්‍රේම කරන කෙනා එය හඳු­නා­ගෙන එප­රි­ද්දෙන්ම අන් අය­ටත් ප්‍රේම කරනු ලබ­නවා. මේ නිසා තමන්ට සිදු­වන අක­ට­යු­තු­කම්, හිංසා­වන් වගේම සංස­න්ද­නා­ත්ම­කව අන් අය කෙරේත් බැලී­මට තමන්ගේ සිත පුරුදු වන බව, තේරුම් ගන්නා බවයි ක්‍රිස්තුස් වහන්සේ පැව­සුවේ.

අන් අයට උදවු උප­කාර කිරීම සහ සහ­යෝ­ගය ප්‍රේමය මත උප­දින සහ ඒ මත රඳා­ප­ව­ති­න්නක්.  යම් පුද්ග­ල­ය­කුට අන් අය කෙරේ තිබෙන ප්‍රේමය හේතු­වෙන් ඒ අයට උදවු උප­කාර කර­මින් සහ­යෝ­ගය ලබා­දී­මට සිත යොමු කෙරෙ­නවා.

 සම­හරු තමාගේ සුබ­සි­ද්ධිය පතා අන් අයට උදවු උප­කාර කර­නවා. එහෙම අවස්ථා තිබෙ­නවා නේද?

උදවු උප­කාර කිරීම ප්‍රේමය හැර වෙනත් අද­හ­ස­කින් නොකළ යුතුයි. පෞද්ග­ලික වාසි­යක් වෙනු­වෙන් හෝ තමන්ගේ නම්බු නාම වෙනු­වෙන් හෝ කීර්ති­යක් අත්පත් කර­ගැ­නීමේ චේත­නා­වෙන් අන් අයට උදවු උප­කාර කිරී­මට හැකියි. එසේම මා කවු­දැයි අන් අයට පෙන්වා­දීමේ අර­මු­ණින් උදවු උප­කාර කරන්නේ නම් එය සත්‍ය වශ­යෙන්ම කර­න්නක් නෙවෙයි.

මේ නිසා ‘ඔබ කෙනෙ­කුට යමක් දෙන්නේ නම් ඔබ එය දකුණු අතින් ලබා­දෙන විට වම් අතට ඒ බව නොදැ­නෙන පරිදි ලබා­දෙ­න්නැයි, කිය­ලායි  ක්‍රිස්තුස් වහන්සේ පැවැ­සුවේ. ඔබ යමක් දුන්නැයි කියා ඔබ­ට­වත් නොදැ­නෙන ලෙස දෙන්නැයි එහි අරුත වුණා. මේ නිසා ලෝක­යාට පෙනෙ­න්නට ඔබ අන් අයට උදව් උප­කා­රට නොකළ යුතුයි. මේ ආකා­ර­යෙන් කිතු­නු­වන් අන් අයට උදවු උප­කාර කළ යුතු බවයි ක්‍රිස්තුස් වහන්සේ පැවැ­සුවේ.  එසේ උදවු උප­කාර කිරී­මට නම් ප්‍රේමය පම­ණයි අපි සතුව තිබිය යුතු වන්නේ.

කෙනෙ­කුගේ ගුණ­ය­හ­ප­ත්කම, කාරු­ණික බව, පරි­ත්‍යා­ග­ශීලී බව, ලස්සන, ජන­ප්‍රිය බව, බලය, වත්කම්, නිල­තල තිබීම වැනි කාරණා නිසා අන්අ­යට උදවු උප­කාර කිරීම නොව මනු­ෂ්‍ය­යකු වීම නිසා ප්‍රේමය, ආද­රය කරන්න සහ ඒ මත සිට උදව් උප­කාර කළ යුතුයි.

කිතු දහ­මට අනුව සොබා­ද­හ­මට, සතුන්ට අපි ප්‍රේම කරන්නේ ඒවා දෙවි­යන් වහ­න්සේගේ සුබ­දායී මැවුම් නිසායි. එහෙත් මනු­ෂ්‍ය­යාට අපි ප්‍රේම කරන්නේ මනු­ෂ්‍යයා සොබා­ද­හමේ පව­තින අනිත් සිය­ල්ල­ටම වඩා උතුම් නිසා. දෙවි­යන් වහන්සේ මනු­ෂ්‍ය­යාව මැවුවේ තම­න්ගේම ස්වරූ­ප­යට යැයි ශුද්ධ බයි­බ­ලයේ සඳ­හන් වෙනවා.  එනම් පුද්ග­ල­ය­කුට අනෙක් කෙනා දේව ස්වරූ­ප­යයි. අපි ජීවත් වන්නේ, අපිට මුණ­ගැ­හෙන්නේ, අපිත් සමඟ කතා කරන්නේ. එසේ මැවූ දේව ස්වරූ­පයේ මනු­ෂ්‍ය­යායි.  තමන් සමඟ ජීවත් වන ඒ මනු­ෂ්‍ය­යාට මා ආද­රය – ප්‍රේමය නොක­රන්නේ නම් මට නොපෙ­නෙන දෙවි­යන්ට ආද­රය කරන්නේ කෙසේ­දැයි පැහැ­දිලි විය යුතුයි.

 ක්‍රිස්තුස් වහ­න්සේගේ චරි­තය තුළි­නුත් ආද­ර්ශ­යක් ගත­හැ­කියි නේද?

ඔව්. මේ යථා­ර්ථය තවත් පැහැ­දිලි කර ගැනී­මට ඇති වටි­නාම පූර්වා­ද­ර්ශය ක්‍රිස්තුස් වහ­න්සේයි. උන්ව­හන්සේ ආපසු කිසි­වක් බලා­පො­රොත්තු නොවෙ­මින් අන් අයට උදවු උප­කාර කළා.  රෝගීන් සුව­පත් කළා.  දුගී දුප්පත් සහ පව්කා­ර­යන් ලෙස හැඳින්වූ පිරිස සමඟ උන්වහන්‌සේ ඇසුරු කර­මින් ජීවත් වුණේ.  සමා­ජය විසින් කොන් කර ඉවත් කළ මිනි­සුන් උන්ව­හ­න්සේගේ නිත්‍ය අස­ල්වැ­සියා වූ අතර ඔවු­න්ගෙන් ලබා­ගත හැකි වාසි­ය­ක්‌ හෝ ලාභ­යක් තිබුණේ නෑ.

එදා පව්කාර ස්ත්‍රිය ලෙස ගල් ගසා මරා දැමී­මට නියම වූ වෛශ්‍යා­වට උන්ව­හන්සේ සමාව දුන්නා.  පව් නොක­ර­න්නැයි පව­ස­මින් ඇයව කොන් කළ සමා­ජය සමඟ ජීවත් වීමට හැකි ලෙස ඔසවා තැබුවා.  මිනි­සු­න්ගෙන් ඈත් කර යක්ෂා­වේශ වූ රෝගීන් සුව­පත් කර නැව­තත් සමා­ජ­ගත කර සමා­ජ­යට ද යහ­ප­තක් කළා.  කිසි­වෙ­කුත් ළං නොවන පාළු පළා­තක, දූප­තක මිය­දෙ­න්නට සමාජය විසින් බැහැර කරනු ලැබූ ලාදුරු රෝගීන් වෙත ළංව ඔවුන්ව ස්පර්ශ කර සිප වැලඳ ගනි­මින් සුව­පත් කළා.

ඒ අයු­රින් ක්‍රිස්තුස් වහ­න්සේගේ චරි­තය සම්පූ­ර්ණ­යෙන්ම පිළි­බිඹු කරන්නේ ප්‍රේමය නිසා අන් අයට උදවු උප­කාර කළ සිදු­වීම්.  උදවු උප­කා­රය මඟින් සමා­ජ­යට සහ එය ලබන පුද්ග­ල­යාට වාසි­යක්, ප්‍රයෝ­ජ­න­යක් වෙනවා.  කිතුනු හෝ කිතුනු නොවන සෑම කෙනෙක්ම එකි­නෙ­කාට ප්‍රේම කළ යුතුයි. එහි වාසිය මුළු­ම­හත් සමා­ජ­යට ලැබෙ­නවා.

 සද්භා­ව­යෙන් කරනු ලබන උදවු උප­කාර කෙනෙ­කුගේ ආත්මය සුව­පත් වීම සඳහා දායක වන්නේ කෙසේද?

උප­තේදී හෝ මිය ­යෑ­මේදී අපි මෙලො­වට ගෙන ආ දෙයක් නැතිවා සේම ගෙන යන දෙය­කුත් නැහැ.  අත­ර­මැදි කාල­ය­කදී පම­ණක් බලය, වත්කම්, කීර්ති නාම, අස­ර­ණ­වීම, අනෙක් අයව පහත් කිරීම, කොන් කිරීම යන සිය­ල්ලක්ම සිදු කර­න­වානේ. එහෙත් උප­තේදී ගෙනා මනු­ස්ස­කම වැඩි­දි­යුණු කර මර­ණ­යට ගෙන යාමට අපි කට­යුතු කළ යුතුයි.

එහෙත් මනු­ෂ්‍ය­යාගේ අභ්‍ය­න්ත­රයේ නිතැ­තින්ම පව­තින ගැටු­මක් වෙනවා.  මනු­ෂ්‍යයා තුළ ඇති තමන් සහ තමාගේ යන ආත්මා­ර්ථ­කාමී සිතු­විලි වෙයි.  එය පාපය ලෙස කිතු දහමේ හඳු­න්වයි. එහෙ­යින් ප්‍රේම කිරීම, උදවු උප­කා­රය, සහ­යෝ­ගය වර්ධ­නය කිරීම එත­රම් පහසු වන්නේ නැහැ.  මනු­ෂ්‍ය­යාටම පව්කා­රයා ලෙසත් අම­ත­න්නට සිදු වෙනවා.

මනු­ෂ්‍ය­ත්වය යනු දෙවි­යන් වහ­න්සේට කිට්ටු අව­ස්ථා­වයි. ඒ තත්ත්ව­යට පත්වී­මට නම් අපි සැමට ආද­රය, ප්‍රේමය කර­න්නැයි ක්‍රිස්තුස් වහන්සේ වදාළේ.

 මනු­ෂ්‍ය­ත්වය වර්ත­මා­න­යේදී වඩා වැද­ගත් වන්නේ ඇයි? ඒ සඳහා ඇති අභි­යෝග මොන­වාද?

වර්ත­මා­නයේ උගත්, නූගත්, දුප්පත්, පොහො­සත් ලෙසින් මිනි­සුන් අතර වෙන­ස්කම් දක්නට ලැබෙ­නවා.  එහෙත් එම වෙන­ස්කම් තුළින් මනු­ෂ්‍ය­ත්වය මැනී­මට නොහැ­කියි. උදා­හර­ණ­යක් ලෙස බොහෝ උගත් පුද්ග­ල­යන් තුළ මනු­ෂ්‍ය­ත්වය සොයා ගැනී­මට නොහැකි වුවත් නූගත් සහ දුප්පත් පුද්ග­ල­ය­කු­ගෙන් ප්‍රේමය සහ ආද­රය ලැබිය හැකියි. එම පුද්ග­ලයා තමන්ට හැකි පම­ණින් උදව් උප­කාර කරයි. උග­තකු වූ පම­ණින් පුද්ග­ල­යකු මනු­ෂ්‍ය­යකු වන්නේ නැහැ.

පුද්ග­ල­ය­කුට මනු­ෂ්‍ය­යකු ලෙස සැල­කී­මෙන් මිනි­සුන් අතර පව­තින අස­මා­න­තාව දුරු කළ හැකියි. ඒ සඳහා අපේ ආකල්ප, සිතු­ම්පැ­තුම් දියුණු කර­ගත යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ පාපය මිස පව්කා­රයා නමැති මනු­ෂ්‍යයා ප්‍රති­ක්ෂේප කළේ නැහැ.  නැව­තත් පාප නොක­ර­න්නැයි උන්ව­හන්සේ ඔවුන්ට පැවැ­සුවා.  ක්‍රිස්තුස් වහන්සේ පව්කා­ර­යන් ලෙස සැල­කෙන මිනි­සුන් සමඟ ජීවත් වූ නිසාම උන්ව­හ­න්සේව ‘පව්කා­රයා’ යැයි  ඇතැ­මුන් අම­ත­න්නත් වුණා. ඒත් පාප­යට විරු­ද්ධව උන්ව­හන්සේ සටන් කළා.

එසේම, අද පව­තින අධ්‍යා­පන රටා­වට මනු­ෂ්‍ය­යෙක් බිහි­කි­රී­මට හෝ අධ්‍යා­ප­න­යට එහා­ගිය පුහු­ණු­වක් මනු­ෂ්‍යයා තුළ වර්ධ­නය කිරී­මෙන් තොරව අද සමා­ජයේ මනු­ෂ්‍ය­ත්වය වර්ධ­නය කිරීම කළ නොහැ­කියි.  ඕනෑම පුද්ග­ල­යකු මනු­ෂ්‍ය­යකු ලෙස පිළි­ගැ­නී­මට ඇති හැකි­යාව මවු­පි­ය­න්ගෙන් ආරම්භ කර පාසල තුළින් වර්ධ­නය කිරීම මඟින් දරු­වන් හොඳ මඟ­කට ගත­හැ­කියි.

මනු­ෂ්‍ය­ය­කුගේ ප්‍රති­රූ­ප­යෙන් නොබලා මිනි­සුන් පිළි­බඳ මනු­ෂ්‍ය­ත්ව­යෙන් තීරණ ගැනීමේ ජීවන හැකි­යාව පාසල තුළින් ආරම්භ කළ යුතුයි. ඕනෑම කෙනෙකු මනු­ෂ්‍ය­ත්ව­යෙන් සලකා ඔහුගේ වැරදි අඩු­පාඩු නොස­ලකා හැරී­මට හැකි­යාව පුරු­ද්දක් ලෙස වැඩි­දි­යුණු විය යුතු අතර එය ජීවි­තයේ පුරුදු රටා­වක් විය යුතු­මයි. එතැ­නට මිනිස් ගුණ ධර්මය වර්ධ­නය කරන තෙක් සමා­ජයේ යහ­ප­තක් අපේක්ෂා කළ නොහැ­කියි.

අධ්‍යා­ප­නය සඳහා මුදල් වෙන් කර­මින් උපා­ධි­ධා­රීන් බිහි කළ පම­ණින් මනු­ෂ්‍ය­ත්වය ඇති­වන්නේ නැහැ.  එය අපේ රටේ අධ්‍යා­පන රටාවේ පව­තින විශා­ලම දුර්ව­ල­ක­මක්. මනු­ෂ්‍ය­ත්වය පිරි සමා­ජ­යක් ගොඩ­නැ­ඟිය හැකි වන්නේ ආග­මික වට­පි­ටා­ව­කින් පම­ණයි.  එහිදී ආග­මක් ලෙස සංකේ­තා­ත්මක ඇද­හි­ලි­ව­ලින් නොව ආග­මට එහා ගිය ධර්මා­නු­කූල ජීවන රටා­වක් තුළින් එම ඉල­ක්කය වෙත පැමි­ණිය හැකියි. සෑම ආග­මක අර­මුණ යහ­පත් මිනි­සුන් බිහි කිරී­මයි.

 තාක්ෂ­ණය නිසා මනු­ෂ්‍ය­ත්වය පිරි­හෙ­නවා ද?

මනු­ෂ්‍ය­යාගේ මොළය දියුණු වීමත් සමඟ ඔහුගේ කාර්ය­යන් පහ­සු­වෙන් සහ ලෙහෙ­සි­යෙන් කිරීම සඳ­හායි තාක්ෂ­ණය සොයා ගැනුණේ.  ‘තාක්ෂ­ණය’ සමා­ජයේ අය­හ­ප­තට හේතුව වී තිබෙන්නේ යැයි සිතීම වැරදි මත­යක්.  තාක්ෂ­ණය මිනි­සාගේ අව­ශ්‍යතා අනුව දියු­ණු­වෙ­න්නක් මිස මනු­ෂ්‍ය­ත්ව­යට බල­පා­න්නක් නොවේ. තාක්ෂ­ණය තව­ත­වත් වැඩි­දි­යුණු විය හැකියි.  එහෙත් මනු­ෂ්‍ය­ත්වය යනු තාක්ෂ­ණ­යෙන් ඔබ්බට යන මිනිස් ගුණාංග වර්ධ­නය මඟින් සිදු­ව­න්නක්. ඒ සඳහා මනස සංව­ර්ධ­නය කළ යුතුයි.

ඉරෝෂා දීපානි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT