හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවෙස ඇතුළ දේපොළවලට සිදුවූ හානිය වෙනුවෙන් පසුගිය ආණ්ඩුව විසින් ගෙවන ලද රුපියල් ලක්ෂ 959ක වන්දි මුදල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අත්හිටුවන ලද ගිණුමකට බැරව තිබෙන බැවින් එය මුදා හරින ලෙස ඔහුගේ නීතිඥයන් ඊයේ (11දා) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ගිණුමට විවිධ මූලාශ්‍රවලින් මුදල් ලැබී තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් කොමිසම සිදුකරන විමර්ශන අවසන්ව නොමැති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට වාර්තා කළාය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා මෙම බැංකු ගිණුම අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන්න ලබන 17 වැනිදා ප්‍රකාශය කරන බව නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව කළ කරුණු දැක්වීමක් අනුව කොළඹ මහාධිකරණය විසින් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට අයත් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් 2ක් අත්හිටුවා ඇත.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගල සමයේ තම සේවාදායකයාගේ නිෙවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959ක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මඟින් අත්හිටුවා තිබෙන රාජ්‍ය බැංකුවක පාර්ලිමේන්තු ශාඛාවේ පිහිටි ගිණුමට බැරව ඇතැයි කියා සිටියේය.
එබැවින් අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස වගඋත්තරකරුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17දා ප්‍රකාශ කිරීමට දින නියම විය.
වගඋත්තරකරු වෙනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම කළාය. කොළඹ මහාධිකරණය වගඋත්තරකරුගේ බැංකු ගිණුම්වලට අමතරව ඔහුගේ පවුලේ උදවියට අයත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක්, රක්ෂණ ඔප්පු 3ක් මේ වන විට අත්හිටුවා තිබේ. ඒවායේ වටිනාකම රුපියල් 9,71,25,000කට වැඩිවේ.
2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 53(1) වැනි වගන්තිය අනුව මුදල් විශුද්ධිකරණ නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දරුවන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චනුලා රමාලී රඹුක්වැල්ල, අමාලී නයනිකා රඹුක්වැල්ල හා බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට අයත් දේපළ මෙම නියෝගය අනුව අත්හිටුව තිබේ.
චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල මහත්මිය පසුගිය පෙබරවාරි 24දා මෝසමක් ගොනු කරමින් අත්හිටුවන ලද දේපළවලට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් අධිකරණයෙන් ලබා ගැනීමට කළ ඉල්ලීමට අධිකරණය අවසර දෙන ලදි.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ සහකාර අධ්යක්ෂ (නීති) තුසිතා ජයනෙත්ති මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ඇත.