වැලිගම, පැළෑන ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විවෘත වරෙන්තුවක් ඊයේ (11) නිකුත් කළේය.
අධිකරණය මඟහැර සැඟව සිටීම හේතුවෙන් ඔහු දුටු තැන අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසින් මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තු නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) මෝසමක් මඟින් අධිකරණයෙන් ඉල්ලූ ඉල්ලීමක් සැලකිල්ලටගෙනය.
සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට ස්ථාන දහයක් පරීක්ෂා කළ බවත්, තවත් ස්ථාන දහ අටකට බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සිය වැඩිදුර වාර්තාව මඟින් දැනුම් දී තිබේ.
එහෙත් සැකකාර පොලිස්පතිවරයා තවදුරටත් අධිකරණය මඟහරිමින් සැඟව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. මෙම සිද්ධියට අදාළව වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර යන අය ඉකුත් 04 වැනිදා නිතීඥවරයකු මඟින් අධිකරණයට භාරවූ අතර, එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග නිකුත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් වී තිබිණි. ඒ අනුව එක් සැකකරුවකු විදේශගතව සිටින බවත්, අනෙක් සැකකරුවන් හයදෙනා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තම දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මේ අතර, මෙම සිද්ධියේ සැකකරුවකු වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ තවත් සැකකරුවන් හයදෙනකු තමන් අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ඉල්ලා තිබිණි. පොලිස්පතිවරයා මෙම රිට් ආඥාව ඉල්ලා තිබුණේ පෙරේදා (10) දිනයේ දී වන අතර අනෙක් සැකකරුවන් හයදෙනා සඳහා අභියාචනාධිකරණයෙන් එම රිට් ආඥාව ලැබී තිබුණේ ලබන 21 වැනිදා තෙක් ඔවුන් අත් අඩංගුවට නොගන්නා ලෙස දැනුම් දෙමින්ය.