Wednesday, March 26, 2025
Home » පාර්ලි­මේ­න්තු­ව

පාර්ලි­මේ­න්තු­ව

by Gayan Abeykoon
March 12, 2025 4:01 pm 0 comment

අනු­රපුර රෝහල් සිද්ධියේ  සැකකරු අල්ලාගන්න පොලිස් කණ්ඩායම් 5ක්

ඇමැති ආනන්ද විජේ­පාල

අනු­රා­ධ­පුර රෝහලේ වෛද්‍ය­ව­රි­ය­කට අත­වර කිරී­මට සම්බන්ධ පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පොලිස් කණ්ඩා­යම් පහක් යොදවා ඇතැයි මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.

එසේම ඔහු කඩි­න­මින් අත්අ­ඩං­ගු­වට ගන්නා බවද ඇමැ­ති­ව­රයා කීය.

අදාළ සැක­කරු හමු­දා­වෙන් පලා ගිය අයකු බවට හඳු­නා­ගෙන ඇති අතර අදාළ සැක­කරු සිටින ඉස­ව්වද මේ වන විට හඳු­නා­ගෙන ඇති බව  ඇමැ­ති­ව­රයා පැව­සීය. අදාළ වෛද්‍ය­ව­රි­යට බර­ප­තළ ලිංගික හිරි­හැර සිදු­කර ඇති බවත් සිද්ධිය සිදුවූ වහාම පොලී­සිය මැදි­හත්ව කට­යුතු කර ඇති බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා මේ බව සඳ­හන් කළේ අනු­රා­ධ­පුර රෝහලේ වෛද්‍ය­ව­රි­යක පෙරේදා (10) බර­ප­තළ ලිංගික හිරි­හැ­ර­ය­කට ලක්ව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් වහා විම­ර්ශ­නය කළ යුතු බව­ටත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සිදු­කළ ප්‍රකා­ශ­යට පිළි­තුරු දෙමිනි.

 

අනුරපුර රෝහලේ සිද්ධියෙන්  විශාල ආර­ක්ෂක  ගැටලු මතු­වෙ­නවා

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය­ව­රි­යක් බර­ප­තළ ලෙස ලිංගික හිංස­න­ය­කට ලක්ව ඇති බවත් මේ සම්බ­න්ධ­යෙන් වහා විම­ර්ශ­න­යක් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.

රාජ­කාරි නිර­තව සිටින අත­ර­තුර අදාළ කාර්යා­ල­යට යාමේදී බාහිර පුද්ග­ල­යකු  පිහි­යක් පෙන්වා වෛද්‍ය­ව­රිය ගැට­ගසා බර­ප­තළ ලෙස ලිංගික හිරි­හැ­ර­යට ලක්කර ඇති බවද විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

මිට පෙර කිසිඳු අව­ස්ථා­වක රෝහල් පද්ධ­තිය තුළ මෙවන් සිදු­වී­මක් සිදුවී නැති අතර මෙය බර­ප­තළ ඛේද­වා­ච­ක­යක් බවද විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

මෙරට ඇති විශා­ලම රෝහ­ලක් වන අනු­රා­ධ­පුර රෝහ­ලේදී මෙම සිදු­වී­මට ඇය මුහුණ දෙන්නේ රාජ­කා­රිය කරන අතර බවත් ඇය රාජ­කා­රියේ සිටි­යදී මෙවැනි දෙයක් සිදු­වීම බර­ප­තළ ගැට­ලු­වක් බවත් වෛද්‍ය­ව­රි­යන්ගේ ආර­ක්ෂාව පිළි­බඳ බර­ප­තළ ගැටලු මතුව ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

අනු­රා­ධ­පුර රෝහල තර­ම්වත් ආර­ක්ෂා­වක් නැති රෝහල් සිය ගණ­නක් ඇති බවත් මින් වෛද්‍ය­ව­රි­යන් කම්ප­න­ය­කට භීති­ය­කට ලක්ව ඇති බවත් හෙතෙම පැව­සීය. පසු­ගිය කාලයේ වෛද්‍ය­ව­රුන්ට එරෙ­හිව උසි­ගැ­න්වී­ම්ව­ලට ප්‍රකෝ­ප­කාරී සිදු­වී­ම්ව­ලට මුහු­ණ­දී­මට සිදුවූ බවත් එබැ­වින් මෙවැනි සිදු­වීම් හෙළා දැකිය යුතු බවත් ජාතික ආර­ක්ෂාව ගැන කතා කරද්දි විහිළු කිරීම තුළ රාජ්‍ය සේවයේ නිරත වී සිටින නිල­ධා­රි­නි­යන් පවා අප­හ­සු­තා­වට පත්වන බවද විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. කාන්තා­වන්ට වෛද්‍ය­ව­රි­යන්ට වෘත්තීය ක්ෂේත්‍රයේ හා රැකි­යා­වල නිරත කාන්තා­වන් මුහුණ දෙන ගැටලු ගැන කාන්තා දිනයේ කතා කර උත්සව පවා පැවැ­ත්වු­වත් අව­සා­නයේ මෙවැනි සිදු­වීම් නිසා කාන්තාව අස­රණ වී ඇති බවත් දිය­ණි­යක ඇති පියකු ලෙස මේ සිදු­වීම් ගැන බර­ප­තළ හැඟී­මක් ඇති බවද පැව­සීය. මේ සිදු­වී­මට අදා­ළව දැඩි පිය­වර ගත යුතු බවත් මෙවැනි ම්ලේච්ඡ තිරි­සන් ක්‍රියා කරන අයට දැඩි දඬු­වම් පැමි­ණ­වී­මට අවශ්‍ය නීති සම්පා­ද­න­යට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

 

සියලු ආය­තන  ඩිජි­ට­ල්ක­ර­ණය කළ යුතුයි

මන්ත්‍රී රවී කරු­ණා­නා­යක

රාජ්‍ය සේවය වඩ වඩාත් කාර්ය­ක්ෂම කිරීම සඳහා සියලු ආය­තන ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක්කළ යුතු බව නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ පත්කළ මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.

රාජ්‍ය අංශයේ ආය­තන ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක්කි­රීම වෙනු­වෙන් වැඩි වශ­යෙන් ප්‍රති­පා­දන වෙන්කළ යුතු අතර කඩ­දා­සි­ව­ලින් තොර ක්‍රම­වේද හඳුන්වා දීම අති­ශය වැද­ගත් බවද හෙතෙම පැව­සීය. පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­දය සඳහා සහ­භාගී වෙමිනි.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා

තාක්ෂ­ණික අංශය වෙනු­වෙන් වන බදු ඉවත් කරන්න. මම මුදල් ඇමති ලෙස සිටි කාල­යේදී මේ ක්ෂේත්‍ර­යට විශාල මුද­ලක් වෙන් කළා. සිය­යට තුනක් හත­රක් වගේ වෙන් කිරී­මක් පර්යේ­ෂ­ණ­ව­ලට වෙන්කර තිබෙ­නවා. ලෝකයේ රට­වල් සාර්ථක වී තිබෙ­නවා. උපාය මාර්ග­ව­ලින් අපි ඉදි­රි­යට යන්නේ කොහො­මද කියලා බලන්න ඕන. අපිත් ඔවුන්  ආද­ර්ශ­යට ගනි­මින් ඉදි­රි­යට යා යුතුයි. ලෝක­යට අපි විවෘත විය යුතුයි. විවෘත ආර්ථි­කය අපි හඳුන්වා දුන්නා. ඒකත් විවේ­ච­න­යට ලක් කළා. දැන් ඩිජි­ට­ල්ක­ර­ණය කර­ලි­යට ඇවිත් තිබෙ­නවා. අනි­වා­ර්ය­යෙන්ම ඩිජි­ට­ල්ක­ර­ණය සිදු කළ යුතුයි.  යහ­පා­ලන ආණ්ඩුව කාලේ මේ ඩිජි­ටල් හැඳු­නු­ම්ප­තක් ලබා­දීමේ සැල­සු­මක් තිබුණා. එය ක්‍රියා­වට නංවන්න.

ඒ වගේම අන­න්‍යතා කාඩ්පත අපේ ජන­තා­වට ලබා­දිය යුතුයි.   නිල­ධා­රි­වා­ද­යට ඉඩ දෙන්න එපා. මෙත­නදී නිල­ධා­රින්ට අවශ්‍ය විදි­හට කට­යුතු කරන්න එපා. රජ­යක් ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ඔබට හොඳ කණ්ඩා­ය­මක් සිටි­නවා. කඩ­දා­සි­ව­ලින් තොර ක්‍රම­වේ­ද­යක් හදන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් බලන්න. ඊලොන් මස්ක් යටතේ නව ක්‍රම­වේද ඇති­කර තිබෙ­නවා. ඒ වෙනු­වෙන් අවශ්‍ය ප්‍රති­පා­දන වෙන්කර තිබෙ­නවා.

 

දේශ­පා­ලන භේද­ය­කින් තොරව  ඩිජි­ටල් ආර්ථික යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරී­මට සහාය දෙනවා

මන්ත්‍රී හර්ෂ ද සිල්වා

හාන්ස් විජේ­සූ­රිය වැනි විය­තුන් සම්බන්ධ කර­ගෙන ජනා­ධි­ප­ති­ව­රයා යන ගමන ගැන සතු­ටට පත්වන බව සමඟි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (11) පැව­සීය.

කුමන දේශ­පා­ලන මත­යක් දැරු­වද, දේශ­පා­ලන භේද­ය­කින් තොරව ඩිජි­ටල් ආර්ථික යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරී­මට සහාය දෙන බව ද මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කළේය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය. මන්ත්‍රී­ව­රයා මෙසේද පැවැ­සු­වේය. 1990 සුව­සැ­රිය මෙර­ටට ගෙන ඒමට කට­යුතු කරන විට මාව කොත­රම් විවේ­ච­නය කළාද. ජාතික ආර­ක්ෂාව කියලා ලොකු බිල්ලෙක් මවන්න ඇතැම් පිරිස් උත්සාහ කර­නවා. මොසිප් ක්‍රම­වේ­දය හරහා නව වැඩ­පි­ළි­වෙ­ළක් රට තුළ ක්‍රියා­වට නැංවී­මට උත්සාහ ගන්නවා. ඩිජි­ට­ල්ක­ර­ණය සම්බ­න්ධ­යෙන් හාන්ස් විජේ­සූ­රිය මහතා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රු­නුත් දැනු­වත් කළා. පොලි කාබ­නේට් කාඩ් ගේන්න හද­නවා. මගේ යෝජ­නාව නම් එය පී.වී.සී. කාඩ් එකක් ගේන්න කියන එක. මුදල් කාරක සභාවේ සභා­ප­ති­ව­රයා විදි­යට මම මේ යෝජ­නාව කර­නවා. ඉලෙ­ක්ට්‍රො­නික් හැඳු­නු­ම්ප­තක් හැදී­මට කාල­යක් තිස්සේ උත්සාහ කර­නවා. නමුත් තව­මත් එය කර ගැනී­මට නොහැකි වුණා.

 

කුකුළු මස් අප­න­ය­න­යට රට­වල් අට­කින්  ඉල්ලීම් කර තිබෙ­නවා

නි. අමාත්‍ය නාමල් කරු­ණා­රත්න

කුකුළු මස් අප­න­ය­නය කිරී­මට සඳහා අව­ස්ථාව ලබා­ගැ­නීම වෙනු­වෙන් රට­වල් අට­කින් ඉල්ලීම් කළ බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු­ණා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.

මාල­දි­ව­යින, විය­ට්නා­මය, ජපා­නය , සිංග­ප්පූ­රුව ඇතුළු රට­වල් අට­කින් මෙම ඉල්ලීම සිදු කළ බවත් ඉදි­රි­යේදී ඒ සඳහා සුබ­වාදී ප්‍රති­චාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් නාමල් කරු­ණා­රත්න මහතා පැව­සීය.

පසු­ගිය වක­වා­නුව තුළ කුකු­ළු මස් ආන­ය­නය කර ඇති බව පෙන්වා දෙමින් විවිධ හේතු ඉදි­රි­පත් කර­මින් ව්‍යාපා­රි­කයෝ කුකු­ළු මස් මිල වැඩි කරන බව පෙන්වා දෙමින් රත්න­පුර දිස්ත්‍රික් සජබ මන්ත්‍රී හේෂා විතා­නගේ මහතා මතු­ක­රන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු­ණා­රත්න මහතා එසේ පිළි­තුරු ලබා­දු­න්නේය.

මේ වන විට බිත්ත­ර­ව­ලින් ස්වයං­පෝ­ෂිත බව පෙන්වා­දුන් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා, ස්වයං­පෝ­ෂිත ලෙස තිබූ බිත්තර කර්මා­න්තය බිද වැට්ටී­මට පසු­ගිය වක­වා­නු­වේදී කට­යුතු කර තිබූ බව සඳ­හන් කළේය. සැල­කිය යුතු මට්ටමේ කුකුළු මස් නිෂ්පා­ද­න­යක් රට තුළ සිදු­වන බවද ඔහු පැව­සු­වේය. “අපි ගොවි­යාගේ ප්‍රශ්නය විසඳා තිබෙ­නවා. වී මිලදී ගන්නේ නැහැ කියලා කිසිම තැනක ගොවීන් උද්ඝෝ­ෂ­ණය කරන්නෙ නැහැ. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය ලෙස අපට වඩා වැද­ගත් වන්නේ ගොවියා. වී අලෙවි මණ්ඩ­ල­ය­ටත් යම් යම් ප්‍රමාණවලින් ගොවි ජන­තාව වී අලෙවි කර­නවා. මුලින් තිබූ තත්ත්වය වෙනස්වී තිබෙ­නවා.” නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු­ණා­රත්න මහතා පැව­සීය.

 

විද්‍යා පර්යේ­ෂණ මෙන්ම නව උත්පා­දනත් ක්‍රම­වත් කිරී­මට ජාතික ප්‍රති­ප­ත්ති­යක් හද­නවා

ඇමැති ක්‍රිෂාන්ත අබේ­සේන

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේ­ෂණ ඇතුළු නව උත්පා­දන ක්‍රම­වත්ව හා විධි­මත්ව සිදු කිරීම සඳහා ජාතික ප්‍රති­ප­ත්ති­යක් නිර්මා­ණ­යට පිය­වර ගන්නා බව විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේ­සේන මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (11) පැව­සීය.

රටේ සංව­ර්ධ­නය සඳහා පර්යේ­ෂ­ණ­යන් හා නව උත්පා­දන දායක කර ගන්නා ආකා­රය සම්බ­න්ධ­යෙන් විවිධ සාකච්ඡා පව­ත්ව­මින් නව ක්‍රම­වේ­ද­යන් ස්ථාපිත කිරී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සු­වේය.

“විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය යටතේ ආය­තන 12ක් ක්‍රියා­ත්මක වෙනවා. රුපි­යල් මිලි­යන 5000ක් අමා­ත්‍යාං­ශ­යට වෙන් කර තිබෙ­නවා. ඊට අම­ත­රව තවත් රුපි­යල් මිලි­යන 1000ක් ලබාදී තිබෙ­නවා. විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට යටත් නොවන තවත් ආය­තන තිබෙ­නවා. ඒ ආය­ත­න­ව­ල­ටත් එක්ක වෙන් කර තිබෙන මුදල ගත් විට රුපි­යල් බිලි­යන 20කට වැඩියි. රටක් සංව­ර්ධ­නය කරා යන ගම­නේදී පර්යේ­ෂණ අංශ­යෙන් ඉදි­රි­යට යාම ඉතා වැද­ගත්. අපේ රටේ තිබෙන සම්ප­ත්ව­ලට අගය එකතු කර විදේශ විනි­මය ඉපැ­යීමේ ක්‍රම­වේ­ද­යක් සකස් කිරීම අපේ අර­මුණ වෙනවා. ලෝක ප්‍රසිද්ධ විද්‍යා­ඥ­යන් ලංකාව තුළත් සිටි­නවා. විද්‍යා හා තාක්ෂණ ප්‍රති­ප­ත්තිය සංශෝ­ධ­න­යක් කර­මින් එය ජාතික ප්‍රති­ප­ත්තිය බවට පත්ක­ර­නවා. පසු­ගිය කාලය තුළ නව උත්පා­ද­න­යන් සඳහා වෙනම අමා­ත්‍යාං­ශ­යක් තිබුණේ නැහැ. පර්යේ­ෂණ ප්‍රති­ඵ­ල­යන් වාණි­ජ­ක­ර­ණ­යට ලක් කළ හැකි ව්‍යාපෘති හඳුනා ගැනී­මක් සිදු කර­නවා. එහිදී මතු වන ගැට­ලු­ව­ලට පිළි­තුරු ලබා­දීම අපේ අමා­ත්‍යාං­ශ­යෙන් කර­නවා.

කර්මාන්ත අමා­ත්‍යාං­ශය සමඟ එක්ව පොස්පේට් නිෂ්පා­ද­නය ඉහළ නැංවී­මට පිය­වර ගන්නවා. රටේ දරු­වන් විද්‍යා අධ්‍යා­ප­න­යට නැඹුරු කිරී­මක් අපි කර­නවා. ඒ අනුව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නව ප්‍රති­ප­ත්ති­ව­ලට සම­ගා­මීව අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ සහා­යෙන් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීමේ අර­මුණ හඳු­නා­ගෙන තිබෙ­නවා.

දරු­වන්ට ඉහළ විද්‍යා අධ්‍යා­ප­න­යක් ලබා­දීම අපේ අර­මුණ වෙනවා. ගමට විද්‍යාව හා තාක්ෂ­ණය ගෙන යාමට පිය­වර ගන්නවා. විදාතා මධ්‍ය­ස්ථා­න­වල සම්පත්, විශ්ව­වි­ද්‍යාල සම්පත් හා මානව සම්පත් යොදා ගැනී­මට පිය­වර ගෙන තිබෙ­නවා. විදාතා මධ්‍ය­ස්ථාන මඟින් සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ගේ භාණ්ඩ­වල ප්‍රමි­තිය ඉහළ නැංවී­මට විශාල කාර්ය­භා­ර­යක් කළ හැකියි.

මේ අමා­ත්‍යාං­ශය විවිධ ගිවි­සුම් රට­වල් සමඟ අත්සන් කර තිබෙ­නවා. ගල්අ­ඟුරු පරී­ක්ෂණ  සිදු කිරී­මට අපි ඉන්දි­යා­වට යනවා. අයි.ටී.අයි. ආය­ත­නය සමඟ අපි සාකච්ඡා කර අපේ ආය­ත­නය තුළ ගල් අගුරු පරී­ක්ෂණ පැවැ­ත්වී­මට ඉදි­රි­යේදී පිය­වර ගන්නවා.

 

ඩිජි­ටල් බද්දෙන් වාසි­යක් මිස අවා­සි­යක් නෑ

නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ

අය-වැය මඟින් පනවා ඇති බවට විප­ක්ෂය චෝදනා කරන ඩිජි­ටල් බද්ද තුළින් වාසි­යක් මිස අවා­සි­යක් සිදු නොවන බව ක්ෂේත්‍රයේ කර්මා­න්ත­ක­රු­වන් මේ වන විට අව­බෝධ කර ගෙන ඇතැයි කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (11) පැව­සීය.

ඉන්දි­යාව, සිංග­ප්පූ­රුව වැනි රට­වල් සමඟ එක්ව ඩිජි­ට­ල්ක­ර­ණය වේග­වත් කිරීම සඳහා හාන්ස් මහතා සමඟ සිටින කණ්ඩා­යම් සූදා­න­මින් සිටින බවත් වේග­යෙන් ඩිජි­ට­ල්ක­ර­ණ­යට අව­තීර්ණ වන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

ඩිජි­ටල් චේන් එකක් තුළ තමයි කර්මාන්ත කළ යුත්තේ. ඩිජි­ට­ල්ක­ර­ණ­යට නැඹුරු නොවු­ණොත් වෙළ­ඳ­පො­ළට අපි සුදුසු නැති වෙන බවට ප්‍රකාශ වුණා. නමුත් දැන් තත්ත්වය වන්නේ ඩිජි­ට­ල්ක­ර­ණ­යට වෙළ­ඳ­පො­ළක් දැන් අවශ්‍ය නැහැ. ඒ අයි තාක්ෂ­ණ­යත් දැන් එක්ව තිබෙ­නවා. ඩිජි­ට­ල්ක­ර­ණය ගැන කතා කරන විට ෆින්ටෙක්, ක්ලවුඩ් කම්පි­යු­ටින්, සයි­බර් සිකි­යු­රිටි අංශ­ව­ලට ලංකාව විශේෂ විභ­ව­තා­වක් දරා­ගෙන සිටි­නවා. ඒ ව්‍යාපා­ර­ව­ලට ජන­තාව කැඳ­වීම සඳහා මේ අය-වැය තුළින් විශේෂ අවස්ථා නිර්මා­ණය කර තිබෙ­නවා. සන්නා­ම­යක් සහිත රටක් විදි­යට ඉදි­රි­යට ඒමට අපි කට­යුතු කර­නවා. ඩිජි­ටල් ආර්ථි­ක­යට අවශ්‍ය සහාය මේ දක්වා රට තුළ තිබුණේ නැහැ. ඒ සඳහා වූ මූලික ගැටලු හඳු­නා­ගෙන ඒවාට විස­ඳුම් දීමට මුලින්ම මිලි­යන 300 කුත් ආයෝ­ජ­න­යට ආර­ම්භ­යක් මේ වස­රේදී අපි ගන්නවා. ඒ සඳහා යටි­තල පහ­සු­කම් නිර්මා­ණය මෙහිදී සිදු කර­නවා. තොර­තුරු තාක්ෂණ නගර රට තුළ නිර්මා­ණ­ය­ටත් අපි අව­ධා­නය යොමු කර­නවා. ඩිජි­ටල් වීසා ක්‍රම­යක් ද අපි නිර්මා­ණය කර­නවා. සම­ස්ත­යක් ලෙස ව්‍යාපාර, කර්මාන්ත කරන අයට ඩිජි­ට­ල්ක­ර­ණය වේග­වත් කිරීම තුළින් ව්‍යාපාර වැඩි වෙනවා. මෙතෙක් පැවැති රජ­ය­න්ව­ලට මෙය කර ගත නොහැකි වුණා. ෆ්‍රීලා­න්සර්ස්ලා බොහො­ම­යක් රට තුළ සිටි­නවා. ඔවුන්ට වෘත්තී­ය­භා­ව­යක් මෙතෙක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය බැංකු සහාය ලබා­දී­මට බැංකු පද්ධ­ති­යත් සමඟ අපි සාකච්ඡා පව­ත්ව­මින් සිටි­නවා. බදු කාර්ය­ක්ෂ­ම­තාව සඳහා බදු පද­නම පුළුල් කිරී­මට ඩිජි­ටල් තාක්ෂ­ණය වැඩි කර­නවා. මේ ක්‍රියා­ව­ලිය තුළ සාධා­රණ බිමක් කුඩාම හා වැඩිම ඉඩක් තිබෙන කර්මා­න්ත­ක­රු­වන්ට අව­ස්ථා­වන් නිර්මා­ණය වෙනවා. මේ අමා­ත්‍යාංශ දෙක හරහා ඩොලර් බිලි­යන 200ක පමණ ආදා­ය­මක් ලබා­ගත හැකියි. ඒ සඳහා අපි විධි­මත් ලෙස යොමු විය යුතුයි.

 

වේදි­කාවේ කතා කළ නිෂ්පා­දන ආර්ථි­කය අය-වැයේ නෑ

මන්ත්‍රී දිලිත් ජය­වීර

ජාතික ජන බල­වේ­ගය වේදි­කාවේ කතා කළ නිෂ්පා­දන ආර්ථි­කය මේ අය-වැය තුළ නොමැති බව සර්ව­ජන බලය පත් කළ මන්ත්‍රී දිලිත් ජය­වීර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (11) පැව­සීය.

නව නිර්මාණ සහ නවෝ­ත්පා­දන සඳහා විශාල මුද­ලක් මේ ආණ්ඩු­වෙන් වෙන් කර ඇතැයි සිතු­වද, එවැනි දෙයක් සිදුව නැති බව ද මන්ත්‍රී­ව­රයා පැව­සු­වේය.

අය­වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සු­වේය.

ජාතික ආදා­ය­මෙන් සිය­යට 60 ක් අද ණය හා පොලී ගෙවී­මට යොදා ගන්නවා නම්, සිය­යට 32 ක් අපේම අප­න­ය­න­ක­රු­වන් අප­න­යන ආදා­යම් මෙර­ටට ගේන්නේ නැත්නම්, බහු ජාතික සමා­ගම් අපේ ආදා­යම් ගෙන යනවා නම් අපේ මිනි­සුන් ජීවත් කරන්න ඉති­රිව තිබෙන්නේ මොන තරම් සොච්ච­මක්ද? එත­කොට ජන­තාව දුගී නැතිද? මේ ආණ්ඩුව එන්නේ වෙන­සක් කරන්න. නව පර්යේ­ෂණ සිදු කර ඒ තුළින් කෘෂි කර්මා­න්තයේ කාර්ය­ක්ෂ­ම­තාව වැඩි කර ගන්නේ කොහො­මද කියලා බලන්න ඕන. ණය අර­ගෙන ඒවා ගෙවීම සඳහා නව උත්පා­දන කරන්නේ නැත්නම් එය සුදුසු නැහැ. මේ අය-වැයේ ජන­තා­වට බලා­පො­රොත්තු තැබිය හැක්කේ කොතැ­නද කියන ගැට­ලුව තිබෙ­නවා. මේ අය-වැය දෙස හොඳට බැලු­වොත් අපි කිසි­සේත්ම නිර්මා­ණ­ශීලි නොවී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ කුමන ගනු­දෙනු කළත් වැඩක් නැහැ. රටේ ආදා­යම මත බදු පන­ව­මින් මෙරට මිනි­සුන් ඉතාම දුෂ්කර තත්ත්ව­යට පත් කර­මින් කට­යුතු කිරීම තමයි ජාත්‍ය­න්තර අර­මු­දල කරන්නේ. ඔවුන්ගේ පැත්තෙන් එය සාධා­ර­ණයි.

අපේ රටේ මිනි­සුන් වෙනු­වෙන් මේ ආර්ථි­කය මෙහෙය විය යුතුයි. ඒ සඳහා අපි හෘද සාක්ෂි­යට එක­ඟව කට­යුතු කළ යුතුයි. මේ රට කවදා හරි ගොඩ එනවා දකින්න ආසා­වක් මටත් තිබෙ­නවා. අපේ සහාය ඒ සඳහා හැකි සෑම අව­ස්ථා­ව­ක­දීම ලබා­දෙ­නවා.

 

සයි­බර් ආර­ක්ෂණ පනත ඉක්ම­නින් ගේනවා

නියෝජ්‍ය ඇමැති එරංග වීර­රත්න

සයි­බර් ආර­ක්ෂණ පන­තක් ඉක්ම­නින් ගෙන ඒමට කට­යුතු කරන බව ඩිජි­ටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීර­රත්න මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ  (11) පැව­සීය.

මාස හයක් වැනි කාල­යක් තුළදී ඩිජි­ටල් හැඳු­නු­ම්පත ගෙන ඒමට ආණ්ඩුව පිය­වර ගන්නා බව ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය. වෙබ් සයිට් හැක් කර­නවා කියලා කිය­නවා. ශ්‍රී ලංකා ෂර්ට් ආය­ත­න­යට සිකි­යු­රිටි සම්බ­න්ධ­යෙන් උප­දෙස් දෙන්න පුළු­වන්. නමුත් බලා­ත්මක කිරී­මට නොහැ­කියි. සයි­බර් ආර­ක්ෂණ පන­තක් ගෙන ඒමට පිය­වර ගන්නවා. වෙබ් සයිට් කිසි­දාක හැක් නොවී තිබෙන ආකා­ර­යට මේ පන­තෙන් කට­යුතු කර­නවා. ඩිජි­ටල් ආර්ථික ප්‍රති­ප­ත්තිය අපේ ආණ්ඩුව කාල­යක් තිස්සේ සිට නිර්මා­ණය කළ දෙයක්. අවු­රුදු පහක් සඳහා එම ප්‍රති­ප­ත්තිය අපි නිර්මා­ණය කර තිබෙ­නවා. ඩිජි­ටල් හැඳු­නු­ම්ප­ත­ටත් විශේෂ අව­ධා­න­යක් අපි ලබා­දෙ­නවා. මේවා සම්බ­න්ධ­යෙන් පටු දේශ­පා­ලන අර­මුණු ඉටු කර ගැනී­මට කරන විවේ­චන අපි පිළි­ගන්නේ නැහැ.

ජාතික ප්‍රති­ප­ත්ති­යක් අනුව අපි ජාතික ජන බල­වේ­ගය කට­යුතු කර­නවා. විප­ක්ෂය හිතන විදි­යට අපේ කකු­ලෙන් අදින්න බැහැ. ඩිජි­ටල් හැඳු­නු­ම්පත හදන විට පී.වී.සී. කාඩ් එක­කට යා යුතු බවට ඇතැම් මන්ත්‍රී­ව­රුන් ප්‍රකාශ කළා. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඩිජි­ටල් ප්‍රධාන උප­දේ­ශක හාන්ස් මහතා ගැන චෝද­නා­වක් කළා. ඒ සියලු චෝදනා අස­ත්‍යයි.

 

අබා­ධිත පුද්ග­ල­යන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු සංස­ද­යක්

ආබා­ධිත පුද්ග­ල­යන්ට පාර්ලි­මේ­න්තුව විසින් සංස­ද­යක් පිහි­ටු­වී­මට නිය­මිත බව කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) පැවැ­ත්වෙන බවද නිවේ­ද­නය කළේය. එහි රැස්වී­මක් ඊයේ පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී පව­ත්වන බවත් අදාළ රැස්වී­මට කැමැ­ත්තක් දක්වන සියලු දෙනාට සහ­භාගී විය හැකි බවද කථා­නා­ය­ක­ව­රයා දැනුම් දුන්නේය.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT