“අපේ ගම්වල ගොවියා අතීතයේ අතමිට සරු ගොවියෙක් බවට පත්වී සිටියා. දැනට වසර හත අටක ඉඳලා ඒ ගොවියාට අතිරේක ගොවිතැනින් ඉවත් වෙන්නට සිදුවෙලා තිබෙනවා. මේ ගොවියා අතීතයේ මිනිපේ දෙවෙනි පියවරේ හසලකගම හා වැල්ගාල යන ග්‍රාම නිලධාරි වසම්වල මහවැලි ගං ඉවුරේ ඇති සරුසාර භූමියේ විවිධ වර්ගයේ එළවළු වර්ග සහ අලබතල වර්ග මෙන්ම පැපොල් වැනි පලතුරු වගා කළා. “ඒ කාළේ මට මතකයි මහනුවර ඉඳලා ලොරියක් එනවා. මේ නිෂ්පාදන නුවරට රැගෙන යන්න. පැපොල් රැගෙන යන්න විවිධ කොම්පැණි ගමට ආවා. ඒ කාලේ ගොවියාගේ අතමිට බොහෝම සරුවට තිබුණා. ඒ වගාවන්වලට කණකොකා හඬන්නට පටන් ගත්තේ වනඅලියා ගමට කඩා වැදිලා මේ භව භෝග විනාශ කරන්න පටන් ගත්තට පස්සෙයි.”
දිගින් දිගටම පවතින අලි මිනිස් ගැටුම හේතුවෙන් ස්වයං රැකියාවන් ලෙස ගඩොල් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන අයට සහ අතිරේක ආදායම් මාර්ග වශයෙන් එළවළු හා පලතුරු වගාවේ නියුතු ගොවියාට එම කටයුතු කර ගෙන යෑමේ ගැටලුවක් පවතින බව මිනිපේ ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම හමුවේ අසරණ වූ ගොවියෝ පවසති.
හසලක සහ මහියංගණ ප්‍රදේශවල නිෂ්පාදනය කරනු ලබන ගඩොල්වලට පිට ප්‍රදේශවල ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ නිසා ජනපදයේ කන්නයේ වී වගාවන් අවසන් වූ පසු මහවැලි ගංගාවේ ඉවුර ආසන්නයේ ගොඩ ඉඩම් හිමි ගොවියන් බොහෝ දෙනකු අමතර ආදායමක් උපයා ගැනීම සඳහා තම පවුලේ සාමාජිකයින් ද සම්බන්ධ කරගෙන සුළු වශයෙන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තයේ නිරතවේ. ඇතැම් ගැමියන් මහවැලි ගංගාවේ ඉවුරු ඉඩම්වල පලතුරු සහ එළවළු වගාවන් කරනු ලබයි. මෙය ඔවුන්ගේ ආර්ථිකයට ශක්තියකි.
බොහෝ ගැමියන් ද මෙම කර්මාන්තකරුවන්ගේ, ගොවියන්ගේ අත් උදව්කරුවන් ලෙස සේවය කර දෛනික මුදලක් උපයා ගනු ලබයි. මෙම අමතර ආදායම ඔවුන්ගේ පවුල්වල නඩත්තුවට මහත් ප්රයෝජනයකි. එහෙත් මේ ආදායමට සහ කටයුතුවලට වනඅලියා හරස් වී සිටින බව ගොවියෝ පවසති.
හසලක, ඩී. පහ සහ හයේ ඇළ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඒ.සී. රාජකරුණා මහතා “මේ ප්‍රදේශයේ බොහෝ දෙනකු වී වගා කිරිමෙන් පසු තම ගොඩ ඉඩම්වල සුළු වශයෙන් ගඩොල් නිෂ්පාදනය කරනු ලබනවා. මේ සුළු කර්මාන්තකරුවන් දහවල් කාලයේ නිෂ්පාදනය කරනු ලබන ගඩොල් වියළා ගැනීම සඳහා එම ස්ථානයේම පාත්ති (වැටි වශයෙන්) සකස් කර තබනු ලබනවා. වියැළුණු ගඩොල් ගොඩ ගසා තබනවා. මහවැලි ගංගාවෙ ඉවුර දෙපස ප්‍රදේශවල නිතරම වනඅලි රංචු පිටින් ගැවසෙනවා. දිවා කාලයේ මහවැලි ගංගාවේ කුඩා කැළෑ රොදවල රැඳී සිටින වනඅලියා රාත්‍රි කාලයේ ගම්වැදි ගමේ ගෙවතුවල තිබෙන භව භෝග කා විනාශ කරනවා. එම සතා මෙම ගඩොල් නිෂ්පාදනය කර තිබෙන ස්ථානවලද ගැවසීම හේතුවෙන් වියළා ගැනීමට බිම තබා තිබෙන ගඩොල් අලියාට පෑගීම නිසා ඇතැම් දිනවල බිම අතුරා තිබූ මුළු නිෂ්පාදන තොගයම අලියට පෑගිලා විනාශ වෙනවා. මේ නිසා ගඩොල් නිෂ්පාදනය කර අත මිට සරු කරගත් ගැමියාට මෙන්ම මේ නිෂ්පාදන ආශ්‍රිතව කම්කරුවන් වශයෙන් සේවය කරන අයටත් තම රැකියාවන් අහිමි වෙන තත්ත්වයක් තමයි අලියා ගම්වැදීමෙන් සිදු වෙන්නේ. ගැමියාගේ අතමිට සරු වෙන මේ නිෂ්පාදනයට පවතින ගැටලුවට විසඳුමක් ලබා දෙන්නැයි අපි අදාළ අංශ වෙතින් ඉල්ලා සිටිනවා.”
හසලක, ඩී හතේ ඇළ, ගොවි සංවිධානයේ සභාපති බී.ජී. කපිලරත්න බණ්ඩා මහතා – “සමහර ගොවියෝ තමන්ගේ ගෙදර අයගේ කනකර ආභරණ උකස් කරලා තමයි වගාවන් කරන්නේ. ඉතා දුක් මහන්සියෙන් කරන මේ වගාව ගමට කඩා වදින වනඅලියා එක රැයෙන් එක පැයෙන් විනාශ කර දමනවා. මේ හේතුව නිසා අපේ ගොවියා එළවළු වගාවෙන් පලතුරු වගාවෙන් ඉවත් වෙන්න තීරණය කළා. අද මේ ගැමියාට ජීවත්වෙන්න අනුන්ගේ සරණ පතන්න සිදුවෙලා. මේ ගම්වදින වනඅලියා පලවා හරින්න වනජීවී එකේ අය දිවා රාත්‍රි වෙහෙසෙනවා. ගමේ ගොවියා ළඟටම ඇවිල්ලා ඔවුන්ට අවශ්‍ය අලිවෙඩි ලබා දෙනවා. ජංගම මුර සංචාරයන් කරනවා. ඒක ප්‍රශංසනීයයි. නමුත් ලද සැණින් මහවැලි ගඟේ ඉන්න අලියා ගමට කඩා වදිනවා. මේ අලියා පලවා හරින්න අපි මොන ක්‍රම යෙදුවත් අලියා පන්නන එක හරිම අමාරුයි. ගමෙන් අලියා ගියත් ගමට පහළින් ගලා බසින මහවැලි ගංගාවේ තියෙන කුඩා ලඳු කැළෑවල මේ අලියා දිවා කාලයේ රැඳී සිටිනවා. ඒ වගේම රජයට මතක් කිරීමක් කරන්න ඕනේ. ගඟයාය ගමත් මහවැලි ගඟත් අතර වනඅලි කරදර නිසා වගා නොකර අත්හැර දමාපු ඉඩම් ගණනාවක් තිබෙනවා. මේවා දැන් ලඳු කැළෑ බවට පත් වෙලා මේවා එළි පෙහෙළි නොකිරීම නිසා වනඅලියා මේ ඉඩම්වල රැඳී සිටින තත්ත්වයක් තිබෙනවා. එම නිසා මේ ඉඩම් ගැනත් යම් අවධානයක් යොමු කරන්න වෙනවා. පසුගිය වසරේ හතර ඇළ ගඟයාය ගමේ ගැමියෙකුට සහ පාසල් ශිෂ්‍යාවකට අලියෙකුගේ ප්‍රහාරයකින් ජීවිතයෙන් පවා සමුගන්නට සිදුවුණා.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හසලක වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේසිංහ මහතා – “මේ ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ යෙදී සිටින නිෂ්පාදකයාට සහ ගොවියාට සිදුවෙන මේ ගැටලුව ගැන අපිත් දන්නවා. වනඅලියා ගම්වැදී සිටින බවට තොරතුරු ලද වහාම අපි එම ප්‍රදේශයට ගිහිල්ලා අලියා ඒ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා. අනෙක තමයි වනඅලි නිතර ගැවසෙන ප්‍රදේශවල අපි දිවා රාත්‍රී ජංගම මුර සංචාරක සේවයක් ආරම්භ කර තිබෙනවාට අමතරව, අලියා පලවා හරින්නට ගැමියන්ට අවශ්‍ය අලිවෙඩි ඔවුන්ගේ ගමටම ගිහිල්ලා ලබා දෙනවා. ග්‍රාමීය කමිටු පිහිටුවලා ගම්වදින අලියා පලවා හරින්න අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ප්‍රාදේශීය සභාව සහ විදුලිබල මණ්ඩලය සම්බන්ධ කරගෙන සහ පරිත්‍යාගශීලින් හරහා මෙම ගම්වල සෝලා වර්ගයේ වී දී පහන් සවි කිරීමටත් අදහස් කරනවා. එම නිසා මේ ගැටලුවට අපිට පුළුවන් ආකාරයෙන් විසඳුම් ලබා දෙනවා. ගංඉවුර දිගේ විදුලි වැටක් ඉදිකර තිබෙනවා. ඇතැම් වනඅලි මේ විදුලි වැටට හානි කරනවා. අපි ඒ වැටත් නිතර නඩත්තු කරනවා” යැයි පැවසීය.