කතුවරිය මේ කෘතිය ඉදිරිපත් කිරීමෙහිලා දක්වන ශික්ෂණය හා විනය අප කාගේත් විමසිල්ලට ලක්විය යුතුය. ඇය ස්වකීය සමීපතමයන්ගේ ඝාතන ඉදිරියේ හැඟීම්බරව අඳෝනා නඟන්නේ නැත. සංකීර්ණ හා බරපතළ සමාජ – දේශපාලන පරිවර්තනවලට හේතු සාධක වූ සංසිද්ධීන් හමුවේ සත්‍යය හඹායන ගවේෂිකාවක සේ කතුවරිය සිය ප්‍රබන්ධය ගොතයි. වත්සලා ගමගේ අපේක්ෂා දල්වාගත හැකි ලේඛිකාවකි.
19 වැනි සියවසේ මුල්භාගය තුළ ප්‍රබන්ධ කථාව සම්බන්ධයෙන් වූ දීර්ඝ සංවාද ගණනාවක් පිළිබඳ තොරතුරු හමුවේ. ඉන් එක් වැදගත් සංවාදයක් වූයේ නවකතාව සත්‍ය සිදුවීමක් පාදකකොට රචනා විය යුතු ද යන්නය. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මත දෙකක් ඉදිරිපත් විය. පළමුවන්න; නවකතාව කල්පිතයක් වුව එය සත්‍යයට සමීප විය යුතු බවය. දෙවන්න: නවකතාව සිහිනයක් හෝ ෆැන්ටසියක් හෝ නොවිය යුතු බව ය. මේ මත දෙකෙන් ම කියැවෙන්නේ සමපාත අදහසකි. එනම්; නවකතාව විශ්වාසවන්ත සිදුවීම්වලින් හා පිළිගත හැකි චරිත නිරූපණවලින් සමන්විත විය යුතු බවය. යථාර්ථවාදී සංකල්ප ස්ථාපිතවීමත් සමඟ එම මත වඩාත් පිළිගැනීමට ලක්විය. අමෙරිකාවේ අර්නස්ට් හෙමිංවේ පවා පෙන්වා දුන්නේ සත්‍යයට වඩාත් ළංවීම වැදගත් බවය. ඔහු ඒ බව සනාථ කරමින් සත්‍ය සිදුවීම් පමණක් නොව; ඇත්ත ස්ථාන, නම් – ගම් පවා තම නවකතා සඳහා පාදක කර ගත්තේය.
කල්පිතය හා යථාර්ථය පිළිබඳ පූර්විකාවකින් අද විචාරය ආරම්භ කරන්නට අදහස් කළේ අපගේ නිරීක්ෂණයට හසුවන ‘ඇඹිලි – බිලි’ ප්‍රබන්ධය සත්‍ය සිදුවීම් පෙළක් පාදකකොට රචනා වී ඇති බැවින්ය. මේ කතාවේ සන්දර්භයට ඇතුළත් වන්නේ 1988 – 1991 ශ්‍රී ලංකාවේ භීෂණ යුගයයි. එය අංශ ගණනාවකින්ම සහෘදයා කම්පනයට පත්කරවන යුගයක් වෙත නැවත ගෙනයෑමකි. දේශපාලන බලය පිළිබඳ අරගලයක්, තරුණ නැඟිටීමක්, බල තරගයක්, රාජ්‍ය භීෂණයක්, කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයක් ආදී ලෙසින් පැතිකඩ කිහිපයකින් එම තත්ත්වය විවරණය කළ හැකිය. අද ගෝලීය තත්ත්වය නිරීක්ෂණය කළහොත් සුඩානය, කොංගෝව වැනි අප්‍රිකානු රටවලද, මැද පෙරදිග ගාසා තීරය, බටහිර ඉවුර යන ප්‍රදේශ තුළත් ඉහත කී තත්ත්වය දැකගත හැකිය.
සමූහ ඝාතන, අතුරුදන් කිරීම්, අතිශය ප්‍රචණ්ඩ ඝාතන, බියවැද්දීම්, අනීතිය රජවීම, අරාජිකත්වය, දේශපාලන පළිගැනීම්, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාව, චාරිත්‍ර විකෘති කිරීම, ආගමික ආයතනවලට පහරදීම යනාදී පොදු ලක්ෂණ මෙබඳු පරිසරයක් තුළ උත්සන්න වෙයි. සාමාන්‍ය පුරවැසියා මේ සෑම සිද්ධියකින්ම පීඩාවට පත්වීමට පුළුවන. පවුල් අනාථවීමටත් පුළුවන. සමහරුන් රට හැට යෑමටත් පුළුවන. මෙබඳු අවාසනාවන්ත හා කම්පිත කාල පරිච්ඡේදයන් ගැන පාඨක සමාජ තුළ විශේෂා’වධානයක් ඇති බව සත්‍යයෙකි. එහෙත් ප්‍රබන්ධ කථාවකට එම සමාජ වපසරිය පාදක කරගත යුත්තේ වඩාත් පරෙස්සමෙන්ය. මක්නිසාද යත්; පක්ෂග්‍රාහීවීම, හැඟම්බරවීම හා දේශපාලන දෘෂ්ටිගතවීම් නිසා ප්‍රබන්ධයේ ස්වාධීනතාව හා කලාත්මක ශික්ෂණය බිඳී යා හැකි බැවින්ය. කතුවරිය -වත්සලා ගමගේ මේ කතාව හඳුන්වාදෙන වැදගත් වාක්‍යයක් තිබේ. එය මෙසේය.
“මෙහි ඇත්තේ සත්‍ය මත පදනම් වූ පරිකල්පනයකි.”
(පෙරවදනක් අමුණමි)
කතුවරිය මූලික සිදුවීම් දෙකක් මත පදනම් වෙමින් කතාවේ වස්තුව නිර්මාණය කරගෙන තිබේ. දෙකම සත්‍ය සිදුවීම්ය. පළමු සිදුවීම වන්නේ සිය මහප්පා කැරලිකරුවන් විසින් ඝාතනය කරනු ලැබීය. දෙවැනි සිදුවීම වන්නේ ඇඹිලිපිටියේ සමූහ සිසු ඝාතනයයි. මේ දෙකට ම අඩු – වැඩි වශයෙන් සාක්ෂි සැපයීමට කතුවරියට අත්දැකීම් ඇත. කොටින්ම එම බරපතළ සිදුවීම් ගණනාවෙහිම වින්දිතයකුගේ භූමිකාව ඇයට හිමි වී ඇත. වත්සලා එක පාර්ශ්වයකට නැඹුරු නොවී සමපාත ලෙස සිය සිද්ධි නිරූපණ හා චරිත නිරූපණ කරගෙන යයි. ඇය සිය නිර්මාණ ක්‍රියාවලියෙහි ලා දක්වන සංවරය, ශික්ෂණය පුදුමසහගත යැයි කිව යුතුය.
මනුෂ්‍ය ඝාතන යනු ඕනෑම කතුවරයකු හැඟුම්බර වන අවස්ථාවකි. විශේෂයෙන් ස්වකීය සමීපතමයන් ඝාතනයට ලක්වෙත්දී හැඟුම්බර නොවී; පක්ෂග්‍රාහී නොවී සමස්ත ක්‍රියාවලිය යථාර්ථවාදී දෘෂ්ටියකින් නිරූපණය කළ හැක්කේ පරිණත රචකයකුට පමණි. ඒ සඳහා දැක්මක් ද තිබිය යුතුය. මානවවාදය, මානව භක්තිය, මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යනු හැඟුම්බරවීම නොවේ.
ඇඹිලි – බිලි නවකතාව ආරම්භ වන්නේ ඉතා ශක්තිමත් ආකාරයකටය. කතුවරිය සම්භාව්‍ය ආඛ්‍යානයක් ගොඩනඟා ඇත්තේ භාෂාව – ශෛලිය හා සංකේත භාවිතය මැනැවින් සංයෝග කර ගනිමින්ය.
“ඒ කොක් පෙළ ඉඟිළ යන්නේ දූවේ වූ උන්ගේ කැදලි කරාය. හැඩතලය මවන්නේ සුදු හුණු කැටයකින් ඇඳි ඉරකි. උන් සීරුවට ඉඟිළ යන්නේ වෑදිය පිරිමදිමිනි. මා සිත ද ඒ සීරුවටම පිරිමදිමිනි. එකෙකු වරෙක දඩබ්බර දඩයම්කරුවකු වී දියට බැස නැවත ඉගිළෙයි. හොට’ග රැඳි මැස්සකු ඒ – මේ අතට පැද්දෙද්දී වැව් දිය මතින් කළු ම කළුවට ඉහළට නැඟුණු පරලෝ සැපත් රුක් කඳක් මත්තේ හිඳ, එය රසවිඳ පැරෂුට් හැඩයෙන් ගොඩබිම්ගත වේ.”
(සමාරම්භවය – පිටුව 13)
අතිශය ආකර්ෂණීය ආරම්භයක් සේ දැක්විය හැකිය. අන්තර්ජාතික කලා විචාරකයකු, භාෂා විශාරදයකු හා නීතිවේදියකු වන විචාරක මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ්ට් දක්වන ආකාරයට නවකතාව පිළිබඳ විනිශ්චයක් ගත හැකි හොඳම තැන එම කතාවේ ආරම්භක ඡේදයේ ආරම්භක වාක්‍යයයි. ඉහත ඡේදය සංකේත අනුසාරයෙන් සිය කතාව දක්වන අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ඕනෑම පාඨකයකුගේ කුහුල, ආකර්ෂණය හා විස්මය ඒ සමඟ රැඳෙනු ඇත.
මේ ප්‍රබන්ධය නිරීක්ෂණය කරන කල දැකගත හැකි තවත් විශේෂතා දෙකක් ගැන සඳහන් කිරීම වටී.
(I) ඇතැම් පරිච්ඡේදයක් පද්‍යයකින් ආරම්භ කරයි.
(II) තවත් පරිච්ඡේදයක් සංකේතාකාරී විවරණයකින් ආරම්භ කරයි.
කතාකාරිය අර්ථවත් ලෙස ද, හෘදයාංගම ලෙස ද සිදුවීම් ගළපන ආකාරයක් පෙනී යයි. දැනුමට ද සංවේදීභාවයට ද සංයෝග වී එකතැන රැඳිය නොහැකි යැයි මතයක් පවතියි. වත්සලා එම මතය අනාථ කරයි. නිදහස් පද්‍යය හැඟීම් දැනවීමට පමණක් නොව; තාර්කිකව කතා විකාශනය සඳහා යොදා ගැනීමට ද ඇය සමත් වන්නීය.
දීර්ඝ වග – විස්තරවලින් පැහැදිලි කළ යුතු තත්ත්වයන් සංක්සේපයෙන් – හෘදයාංගම ලෙසින් නිරූපණය කිරීමට කතුවරිය යොදන ශිල්ප ක්‍රමය සාර්ථක වී ඇත. මේ හැරෙන්නට ඇය සමාජ යථාර්ථය හුවා දැක්වීම සඳහා ද අර්ථවත් මැදිහත්වීමක් සිදු කිරීමට අමතක නොකරයි.
“ලාංකිකයන්ගේ ජන සංස්කෘතිය ගොඩ ගොවිතැන, මඩ ගොවිතැන ආශ්‍රිතව හැදී වැඩුණ ද එකී සංවර්ධනයක් නම් නැත. පලිබෝධ හානි, ඉඩම් ගැටලු, ස්වාභාවික ආපදා, අස්වැන්න නෙළීම මෙන්ම ගබඩා කිරීම්, අලෙවි කිරීම් ආදී දහසකුත් එකක් ගැටලු මධ්‍යයේ සංස්කෘතිය රුවාගත් සමාජය සංවර්ධනය වූයේ ද නැත. එම අවාසනාවන්ත සමාජය තුළ මෙලෙස හෝ පණ ගැට ගසා ගැන්ම ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකි ය.”
(10 – පරිච්ඡේදය – පිටුව 91)
කතුවරියගේ විවරණය අදටත් නිවැරැදිය. ඇතැම්විට එය හෙටටත් නිවැරැදි විය හැකිය. හාත්පස සමාජය හා වෙළෙඳ පොළ දෙස බලන විට එය පැහැදිලි වෙයි. වත්සලා ගමගේ නිකම්ම කතාන්දර ගොතන්නියක නොව, යම් දැක්මක් ඇතිව නිර්මාණ ප්‍රවේශයක් ලබාගත් ලේඛිකාවක බව පෙනී යයි.
1.‘ඇඹිලි – බිලි’ නවකතාවේ පෙරවදන කාගේත් අවධානයට ලක්වන සුවිශේෂ රචනා විලාසයකින් සමන්විත ලියැවිල්ලක් බව කිව යුතුය. එය මුළු මහත් ඉතිහාසයක් හකුලා දක්වන සංක්ෂිප්ත රචනාවක් සේ ම නවකතාවට විශ්වාසවන්ත පදනමක් ද ඇති කරන විශේෂ රචනයක් ඉන් කොටස් දෙකක් සංක්ෂේපයෙන් දැක්වීමට කැමැත්තෙමි.
මේ කතාවට මූලික වස්තු බීජය වන්නේ ලොකු මහප්පාගේ මරණයයි. එදා පිටස්තරයකු මෙන් හැසිරුණු මා කුඩා මනසට එය දැඩි කම්පනයක් වී ඇති බැව් මා හඳුනා ගත්තේ මේ කතාව ලියාගෙන යාමේදීය….
(පෙරවදන)
2 “මේ කතාවේ දෙවැනි වස්තු බීජය සැපයෙන මා උගත් පාසලෙනි. මා උගත් පාසලේ මාගේ සොයුරාගේ පන්තියේ මිතුරන් ඊට ගොදුරු වූ අය ලෙස දැක්විය හැකිය. ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධියට අදාළ පන්තිය වූයේ මගේ සොයුරා ඉගෙනගත් එකොළහ වසරයි…”
(පෙරවදන)
කතුවරියගේ මහප්පාගේ ඝාතනය පෞද්ගලික සිද්ධියක් හෝ හුදෙකලා සිද්ධියක් හෝ හැටියට ලඝු කළ හැකි වුව ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය එසේ නොවේ. එය රටේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයකට පාර කැපූ බලවේගයක් ලෙස ද අන්තර්ජාතික වශයෙන් අවධානයට ලක් වූ අපරාධමය සිද්ධියක් හැටියට ද හැඳින්විය හැකිය. ඒ අනුව එම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු සහිත මේ ප්‍රබන්ධය ඓතිහාසික වටිනාකමකින් යුතු මූලාශ්‍රයක් ද වන්නේ ය.
ආසියාවේ – අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ මෙබඳු බරපතළ සිදුවීම් ඇසුරුකොට පොත් ගණනාවක් පළ වී ඇත. වත්සලා ගමගේ කතුවරිය සංකීර්ණ දේශපාලන පරිවර්තනයකට අදාළ සිදුවීම් ගණනාවක් පෙළ ගස්වන අතර සුන්දර ප්‍රේම කතාවක් ද ගොතයි. එය හරි අපූරුය. ජීවිත පරිඥානය සොයන රසවතකුට මේ පොත අගනා අත්දැකීමක් වන්නේය.
රන්ජන් අමරරත්න