Wednesday, March 26, 2025
Home » තීරුබදු ඉහළ නැංවූ අමෙරිකාවට යුරෝපා සංගමය එකට එක කරයි

තීරුබදු ඉහළ නැංවූ අමෙරිකාවට යුරෝපා සංගමය එකට එක කරයි

by sachintha
March 13, 2025 4:07 pm 0 comment

ආනයනය කරනු ලබන සියලුම වානේ සහ ඇලුමීනියම් සඳහා 25%ක තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේශීය කර්මාන්තය යළි ගොඩනැඟීමේ සහ වෙළෙඳ අසමතුලිතභාවය මඟහැරීමේ අරමුණින් එම පියවර ගනු ලැබුවද, එරට කාර්මික නිෂ්පාදනවල මිල ඉහළ යෑමට එය හේතුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තීරණයට පැය කිහිපයක් ඇතුළත යුරෝපා සංගමයෙන් ප්‍රතිචාර ලැබී ඇති අතර, ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අධික තීරුබදු පැනවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යුරෝපා සංගමයේ ප්‍රධානි උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කර ඇත්තේ සිය සංගමයේ සාමාජික රටවල් 27 වෙනුවෙන් වෙළෙඳ සහ ආර්ථික අර්බුද වළක්වා ගැනීම සංගමයේ අරමුණ බවය. අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම අදියර දෙකකින් ක්‍රියාත්මක වනු ඇතැයි ද, එහි දෙවැනි අදියර අප්‍රේල් මස 13 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව බවද යුරෝපා සංගමයේ සභාපතිනිය ප්‍රකාශ කර තිබේ. කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ පමණක් නොව රෙදිපිළි, ගෘහ උපකරණවලට ද එම තීරුබදු නැංවීම ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ. අමෙරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු වටිනාකම ඩොලර් බිලියන 28ක් බවත්, යුරෝපා සංගමයෙන් පනවනු ලබන තීරුබදු වටිනාකම යුරෝ බිලියන 26ක් වන බවත් උර්සුලා වොන් ඩර් ලේයන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT