ගමේ පුංචි ආණ්ඩුව ජනාධිපතිවරයා සිටින ආණ්ඩුව තිබෙන පක්ෂයටම ලබාදිය යුතුයි යන නියාමනය බිඳවැටුණු අවස්ථා ලංකාවේ දේශපාලනයේ තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පෙන්වා දෙයි.
සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (11) පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
‘‘මෙවර පවත්වන්න කටයුතු කරන්නේ කල්ගිය පළාත් පාලන මැතිවරණය. 2023 තමයි මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ.
රටේ තිබුණ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ගන්නා ලද තීන්දුව ගමට පහසුකම් දෙන වැඩපිළිවෙළ සමඟ ගළපන්න එපා කියලා අපි ජනතාවට මතක් කරලා දෙන්න කැමැතියි.
ගමේ පුංචි ආණ්ඩුව ජනාධිපතිවරයා සිටින ආණ්ඩුව තිබෙන පක්ෂයටම ලබාදිය යුතු කියලා නියාමනය බිඳවැටුණු අවස්ථා ලංකාවේ දේශපාලනයේ තිබෙනවා.
2018 දී බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරලා තිබුණේ ආණ්ඩු බලයේ සිටි දේශපාලන ප්‍රවාහයන් නෙවෙයි. යහපාලන ආණ්ඩුව නියෝජනය කළ දේශපාලන ප්‍රවාහයන් දෙකමට එරෙහිව තමයි පළාත් පාලන ආයතනවල බලය තහවුරු වුණේ.
ජාතික දේශපාලන තීන්දුව ගමේ නියෝජිතයා තෝරා ගැනීමේදී ගන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීමට ජාතික ජනබලවේගයට හැකියාව ලැබුණා. ඉතිහාසයේ කවරදාකවත් පාර්ලිමේන්තු මැතිවරණයකදී උතුරේ දේශපාලන පක්ෂ අබිබවා දකුණේ දේශපාලන පක්ෂයකට උතුරේ බලය දුන්නේ නෑ.
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයත් තිබියදී , උතුරේ ජනවරමත් ලැබිලා තිබියදී දමිළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තින්දු තීරණ ගන්න බලයක් නෑ කියලා ආණ්ඩුවට කියන්න බෑ.
ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර ජනතාවට ලබාදුන්න අවම පොරොන්දු ටිකවත් ලබාදෙන්න ආණ්ඩුව මේ අවස්ථාවේ කටයුතු කළ යුතුයි. ඒ වගේම සංවර්ධන කාරණා, දේශපාලනමය කාරණා, යහපාලනය තුළ තිබෙන දේශපාලනික ගුණාංග ආරක්ෂා කරන්න, වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න ගතයුතු සියලුම ක්‍රියාමාර්ග රජය ගතයුතුයි.”
රක්ෂණ ශ්‍රියන්ත