Wednesday, March 26, 2025
Home » හම්බන්තොට ශාන්තමේරි, මොරකැටිආර කනිෂ්ඨය හා නාලන්දා විද්‍යාලය ජනාධිපති කාර්යාලය නරඹන්න ඇවිත්

හම්බන්තොට ශාන්තමේරි, මොරකැටිආර කනිෂ්ඨය හා නාලන්දා විද්‍යාලය ජනාධිපති කාර්යාලය නරඹන්න ඇවිත්

by sachintha
March 13, 2025 4:42 pm 0 comment

හම්බන්තොට ශාන්තමේරි ජාතික පාසල, නාකුළුගමුව, මොරකැටිආර කනිෂ්ඨ විද්‍යාලය සහ කොළඹ 10, නාලන්දා විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමට ඊයේ (12) පැමිණ සිටියහ.

පාසල් සිසුන්ට අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස මේ ආකාරයෙන් ජනාධිපති කාර්යාලය (පැරණි පාර්ලිමේන්තුව) සහ ජනාධිපති මන්දිරය දැක බලා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. එම අධ්‍යයන චාරිකාවට සමගාමීව, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ පාසල් දරුවන් දැනුම්වත් කිරීමක්ද මෙහිදී සිදු කෙරිණි.

ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්.එන්. කුමාරසිංහ මහතා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ පාසල් සිසුන් දැනුම්වත් කළ අතර පාසල් දරුවන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම එහි අපේක්ෂාවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාගේ චරිතය අනාගතය දිනන පාසල් දරුවන්ට ආලෝකයක් වන බවයි. එමෙන්ම ලොව බොහෝ රටවල් දියුණුව කරා ළඟා වූයේ ජනතාවගේ උත්සාහයෙන් බව පෙන්වා දුන් සූරියබණ්ඩාර මහතා තනි පුද්ගලයෙක් වශයෙන් අපට හැකි දේ අප නොපිරිහෙළා ඉටු කළ යුතු බවත් අප අපගේ කොටස ඉටු කිරීමෙන් පසු සැවොම එකාවන්ව රට ගොඩනැඟීමට හැකි බවත් පැවසීය.

විද්‍යාල භූමිවල රෝපණය කිරීමට වටිනා ශාකයක්ද සිහිවටන තිළිණයක් ලෙස එම පාසල් වෙත ලබාදීම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා සහ ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහත්වරුන් අතින් සිදු කෙරිණි.

එම විද්‍යාලයන්හි විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ මවුපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT