Wednesday, March 26, 2025
Home » අනුරපුර රෝහලේ සිද්ධිය විමර්ශනයට – ඇමැති නලින්ද යයි

අනුරපුර රෝහලේ සිද්ධිය විමර්ශනයට – ඇමැති නලින්ද යයි

by sachintha
March 13, 2025 4:43 pm 0 comment

“මෙවැනි සිදුවීම් ලංකාවේ නොවිය යුතුයි. වෘත්තිය, තරාතිරම කිසිවක් නොසලකා කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට සුදුසු පරිසරයක් හදන එක තමයි අපේ ආණ්ඩුවේ කාර්යභාරය. ඉදිරියේදී මෙවැනි දේවල් වළක්වා ගැනීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා” යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (12) අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි අවස්ථාවේදී ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පැවසීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය.

“අනුරාධපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව වෛද්‍යවරියකට සිදුවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ වන විට අදාළ ක්‍රියාමාර්ග අපි ගනිමින් සිටිනවා. මේ වන විට අදාළ සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දින එකහමාරක කාලය තුළ පොලිස් කණ්ඩායම් පහක් යොදවා විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කළා. මේ ප්‍රදේශ පරීක්ෂා කරමින් සිටියා. ඊයේ (12) උදෑසන තමයි ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මෙම සිදුවීම අපි බැරෑරුම් ලෙස සලකනවා. මේක එක වෛද්‍යවරියකට හෝ එක කාන්තාවකට සිදුවූ සිදුවීමක් හැටියට පමණක් නොවෙයි අපි සලකන්නේ. මෙවැනි සිදුවීම් ලංකාවේ නොවිය යුතුයි. වෘත්තිය තරාතිරම කිසිවක් නොසලකා කාන්තාවන්ට සුදුසු පරිසරයක් හදන එක තමයි අපේ ආණ්ඩුවේ කාර්යභාරය. දුර බැහැර ඉඳන් මෙවැනි රෝහලකට ඇවිල්ලා ප්‍රදේශයේ ජනතාවට සේවය කරමින් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනකුට මෙවැනි දෙයක් සිදුවීම අපි කනගාටු වෙනවා විතරක් නෙමෙයි, ඉදිරියේදී මෙවැනි දේවල් වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි මම අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණියේ. ඊට අදාළව අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ අපි සාකච්ඡාවක් කළා මේ අර්බුදකාරී තත්ත්වය ගැන. විශේෂයෙන් අපේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් සියලු දෙනා යම්කිසි ආකාරයක භීතියකට පත් වෙලා සිටිනවා. යම් කම්පනයකට පත් වෙලා තිබෙනවා. ඊට අදාළ පිළියම් අපි යෙදිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා, නාගරික කොමසාරිස්වරයා, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අපි සාකච්ඡා කළා. ඒ අනුව මෙම දින කීපය තුළදී අද පස්වරුවේ සිටම ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම රෝහල වටේ කාලයක් තිස්සේ පවතින අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් තිබෙනවා” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT