අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද, අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග සහ තලාව සමූහ – බී.ඩබ්.ඩී. ධර්මකීර්ති
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කළ සැකකරු මංකොල්ලයක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබ බන්ධනාගාරයෙන් නිදහස ලබා යමින් සිටියදී මෙම අපරාධය කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේදී පසුගියදා (10) සවස 6.30ත් – 7.00ත් අතර කාලය තුළ මෙම අපරාධකරුට ඇය ගොදුරුව තිබිණි.
වෛද්‍යවරියගේ ජංගම දුරකතනය ද කොල්ලකා එම ජංගම දුරකතනයෙන්ම ඇගේ ඡායාරූප ද රැගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගනු ලබන්නේ ගල්නෑව ප්‍රදේශයේදී ඊයේ (12) පෙරවරුවේදීය.
වෛද්‍යවරියගෙන් කොල්ලකෑ ජංගම දුරකතනයේ අංකයට කුලුනු පරීක්ෂාවක් කරමින් සිදු කළ විද්‍යාත්මක විමර්ශනයකින් සැකකරු රැඳී සිටින ප්‍රදේශය හඳුනාගෙන ඇත. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ 45ක කණ්ඩායමක් ඇතුළු පොලීසියේ නිලධාරීන් විශාල පිරිසක් යොදා ඊයේ අලුයම් කාලයේ සිට කළ විශේෂ මෙහෙයුමකිනි.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් පලාවිත් සිටි අයකු බවත් ඔහු හමුදා සේවයේ නිරතව සිටියදී වෙඩි ප්‍රහාරයන්ට පවා ලක්වූවකු බව පොලීසිය සඳහන් කරයි. මංකොල්ලයක් සම්බන්ධයෙන් පොලීසිය මෙයට පෙර අවස්ථාවක ඔහුව සොයමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ චීවරධාරියකු ලෙස වෙස්වළාගෙන සිටියදී බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ජංගම දුරකතනවලට ද ආශාවක් දක්වන පුද්ගලයකු ලෙස මෙම පුද්ගලයාව හඳුනාගෙන තිබේ.
වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරිය සතුව තිබූ ජංගම දුරකතන දෙකින් එකක් පැහැරගෙන ගොස් තිබිණි.
එම ජංගම දුරකතන අංකය ඔස්සේ සැකකරු හඹා යන විට අවුකන දුම්රියපොළ ආසන්නයේ පවා දුරකතනයේ සංඥා ක්‍රියාත්මක වී තිබී ඇත.
ඒ අනුව සැකකරු ගල්නෑව පොලිස් වසම තුළ ස්ථීර වශයෙන්ම සැඟව සිටින බවට සැක කළ පොලීසිය ඔහු පසුපස ලුහුබැඳීමට පටන්ගෙන තිබිණි.
ජංගම දුරකතනය ඔස්සේ තහවුරු කරගත් තොරතුරු මත සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
සැකකරු තවත් අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ බව නිසැකවම තහවුරු කර ගැනීම සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථානවලින් සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරු දින දෙකක් තිස්සේ පොලීසියෙන් කට්ටි පැන ඉඳ ගල්නෑව ප්‍රදේශයේම වනලැහැබක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහාය ඇතුව පොලිස් ස්ථාන පහක නිලධාරීන් කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව බව ගල්නෑව පොලිස් නිලධාරීහු පවසති.
සැකකරුගෙන් දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බව පවසන පොලීසිය සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද තවදුරටත් සඳහන් කරයි.