Wednesday, March 26, 2025
Home » රට සිගරැට් කටුනායකින් පන්නන්න ගිය රේගු නිලධාරියා අත්අඩංගුවට

රට සිගරැට් කටුනායකින් පන්නන්න ගිය රේගු නිලධාරියා අත්අඩංගුවට

by sachintha
March 13, 2025 4:45 pm 0 comment

නීති විරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ 90ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි රේගු නිලධාරියකු ඇතුළු තිදෙනකු පෙරේදා (11) උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ප්‍රධාන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකයා ඊයේ (12) උදෑසන 08.45ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබිණි.

එහිදී රේගු නිලධාරියා සිය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කර ගුවන්තොටුපොළ තුළට පිවිස, මෙම දුම්වැටි තොගය, ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් ගමන් මලු 05ක් රැගෙනවිත් තිබූ අතර, ඒවා තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 60,000ක් අඩංගු දුම්වැටි කාටුන් 300ක් සඟවාගෙන තිබූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා, ඔවුන් නීති විරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කටුනායක ගුවන්තොටුපොළ – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT