Wednesday, March 26, 2025
Home » පියවර අරන් තිබියදීත් වර්ජනය අසාධාරණයි

පියවර අරන් තිබියදීත් වර්ජනය අසාධාරණයි

-සෞඛ්‍ය ඇමැති

by sachintha
March 13, 2025 4:47 pm 0 comment

සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි අවධානය යොමු කරමින් ආණ්ඩුව තීන්දු තීරණ ගනිමින් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන මොහොතක අහිංසක රෝගීන් පීඩාවට පත්වන අයුරින් දීපව්‍යාප්ත මට්ටමින් වැඩවර්ජන දියත් කිරීම අසාධාරණ බවත් රෝගීන් කරෙහි අවධානය යොමු කරමින් වැඩවර්ජන අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගත හැකි බවත් තවදුරටත් අහිංසක රෝගීන් පීඩාවට පත් නොකරන ලෙසත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රජය ලෙස සිදු කළ උපරිම මැදිහත්වීම සිදු කර ඇති බවත් හිංසනයට පත්වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළි නොකිරීම සම්බන්ධයෙන් සමස්ත මාධ්‍යයට සිය ස්තූතිය පිරිනමන බව ද ඇමැතිවරයා පැවසීය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පස්වරු 6.30න් පසුව රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට මුහුණදීමට සිදුවූ බරපතළ ලිංගික හිංසනය පිළිබඳ මේ රටත් සභාවත් කම්පනයට පත්ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු දන්නවා. මේ ආකාරයේ ලිංගික හිංසනයන් කිහිපයක් දවසකට සිදුවුවත් මෙම සිදුවීමට අවධානයක් සමාජයේ ඇති වුණා. කම්පනයක් ඇති වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලු කාන්තාවන් මේ පිළිබඳ කම්පනයක, ආතතියක සිටින බව මම දන්නවා. මේ සම්බන්ධයෙන් අපි බැරෑරුම් ලෙස සලකනවා. මේ සිදුවීම වී පැය 36ක් ගතවීමට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් පහක් යෙදවූවා. ඊයේත් මෙම තැනැත්තා සිටිනවා යැයි කියූ සැක තැනක් පරීක්ෂා කළා. එතන හිටියේ නැහැ. නමුත් අද අත්අඩංගුවට ගත්තා. දැන් විමර්ශන සිදු වෙනවා.

අපි දන්නවා, අපේ රටේ මෙවැනි අවස්ථාවලදී (සේයා දියණියගේ සිදුවීම වෙලාවේ) මේ වගේ දේවල් නාටක වගේ සිදුවූ ආකාරය අපි දැක්කා. මේ සැකකරු පැය 36ක් තුළ අත්අඩංගුවට ගත්තා. මෙවැනි සිදුවීමක් සිදුවුණාම අපේ රටේ මාධ්‍ය හා සමාජ මාධ්‍යවල හැසිරීම එතරම් සුබදායී තැනක තිබුණෙ නැහැ. ඒ නිසා මම මාධ්‍ය අමාත්‍යවරයා ලෙස සියලු මාධ්‍යවලින් ඉල්ලීමක් කළා මෙම සිදුවීමට වින්දිතයකු වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව තහවුරු වන පරිදි තොරතුරු වාර්තා නොකරන ලෙසට. මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා සියලු මාධ්‍යවලට මේ තාක් එම වගකීම ආරක්ෂා කිරීම ගැන. රටේ පළමු වතාවට මේ වින්දිතභාවයට පත්වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව අනාවරණය නොවන පරිදි කටයුතු කළා. එකක් දෙකක් වැරදි කළා. ඉදිරියටත් මාධ්‍ය එම වගකීම ඉටුකරාවි කියා අපි විශ්වාස කරනවා.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT