වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව සිය නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කළේය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ නියෝගයට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ බව තීරණය කරන ලදි.
අභියාචනාධිකරණ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලදි.
එහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති නියෝගය නීති විරෝධී බවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදු කර ඇති කරුණු වාර්තා කිරීමක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138(1)( ආ) යටතේ වාර්තාවක් ලෙස සලකා මාතර මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇති අතර එකී කරුණු වාර්තා කිරීම, වාර්තාවක් ලෙස සැලකිය නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය .
ඒ අනුව අදාළ වගන්ති යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහේස්ත්‍රාත්වරයාට නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට හෝ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එසේ තිබියදී මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමකින් තොරව මෙම වරෙන්තුව නිකුත් කර ඇති අතර එය නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය බ්‍රහස්පතින්දා දින නිකුත් කර ඇති අතර පෙත්සම්කරු ඉදිරිපත් වූයේ නම් සති අන්තයේ ඔහුට රිමාන්ඩ් භාරයේ සිටීමට සිදු වන බවට සැක මතුවන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම නියෝගය නිකුත් කිරීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවට ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
එබැවින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති අදාළ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෙසේ වුවද පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට සහතික වන්නේ නම් ඔහුට ඉදිරිපත් විය හැකි බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා සඳහන් කළේ, අධිකරණ නියෝගයකින් අනතුරුව අධිකරණය මගහැර සැඟව සිටින පුද්ගලයකු සම්බන්ධයෙන් එවැනි සහතිකයක් ලබාදිය නොහැකි බවයි.
මෙය පොලීසිය විසින් දෙන ලද නියෝගයක් නොව අධිකරණය විසින් දෙන ලද නීතිමය නියෝගයක් බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.
පොලීසියේ ප්‍රධානියා වන පෙත්සම්කරු අධිකරණය මගහරිමින් සැඟව සිටින අතර ඔහු සොයා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටීමට සිදුවීම ලජ්ජාවට කරුණක් බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
ඔහු මෙරට පොලිස්පති ධුරයට නොව පොලිස් කොස්තාපල් ධුරයට හෝ සුදුසු නොවන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් ලෙස එක් අවස්ථාවකදී තම නම සඳහන් කර ඇති නමුත් එම නඩු ගොනුවේම එක් ලේඛනයක දේශබන්දු තෙන්නකෝන් ලෙස ඔහුගේ නම සඳහන් වන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එකිනෙකට වෙනස් නම් දෙකක් අවස්ථා දෙකකදී පෙත්සම්කරු භාවිත කර ඇත්තේ කරුණු වසන් කිරීමට බව ද තවදුරටත් සඳහන් කළේය.
පෙත්සම්කරු කරුණු සඟවමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ඔහු ඉල්ලා සිටින කිසිදු සහනයක් ලබා දීමකින් තොරව මුල් අවස්ථාවේදීම එය නිෂ්ප්‍රභ කළ යුතු බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ නියෝගය නිකුත් කළ ඉකුත් පෙබරවාරි 27 වැනිදා සිට ඔහු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝකන්දර, ගංගානී මාවත අදාළ ලිපිනයට කිහිප වරක් ගොස් ඇති නමුත් ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එහි නොසිටි අතර ඔවුන් මේ වන විට අධිකරණය මගහරිමින් සැඟව සිටින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
කෙසේ වුවද මේ වන විටත් එම නිෙවසට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව ලබා දෙමින් ඇති බවද පොලිස්පති ධුරයේ කටයුතු කිරීම හැර එම ධුරයට හිමි සියලු වරප්‍රසාද සහ පහසුකම් පෙත්සම්කරු භුක්ති විඳිමින් සිටින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
එවකට වැඩ කරන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිය ගෝලබාලයින් ලවා සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අපරාධ කල්ලියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය .
ඒ සඳහා ඔහුගේම නිර්මාණයක් වූ ‘යුක්තිය මෙහෙයුම’ යොදාගත් බව ද සොලිස්ටර් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.
ඉඩමක් සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශන කටයුතු සම්බන්ධයෙන් උපදේශක ගාස්තු ලබා නොදීමක් සම්බන්ධයෙන් වැලිගම ‘ w 15’ හෝටලයේ හිමිකරු සමග ඇතිවූ ආරවුලක් මත ඔහුගෙන් පළිගැනීමක් සඳහා පෙත්සම්කරු තමන් යටතේ සිටි නිලධාරින් යොදවා 2023 දෙසැම්බර් මස 31 වැනිදා වෙඩිතැබීමක් සඳහා කුමන්ත්‍රණය කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකාරියක සහ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යන බව පවසමින් ඒ සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අට දෙනෙකු සිවිල් ඇඳුමෙන් වෑන් රථයක නැඟී වැලිගම ප්‍රදේශයට ගොස් ඇති අතර ස්ථානාධිපතිවරු තිදෙනකු එම කණ්ඩායමට අයත්ව සිට ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා කරන මෙහෙයුමක් බව පැවසූ එම මෙහෙයුමට කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක සහභාගි වී නොසිටි අතර වෑන් රථයේ මැද ආසනය ගලවා ඉවත් කර තිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති අතර එම අවස්ථාවේදී ‘යුක්තිය’ මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකර ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඉන් එම වෑන් රථය තුළ සිටි අපරාධ කොට්ඨාස නිලධාරින් දෙදෙනෙකු තුවාල
ලැබූ අතර ඉන්න නිලධාරියකු පසුව මියගිය බවද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම වෑන් රථයේ පැමිණි නිලධාරීන් සම්බන්ධයෙන් වැලිගම ස්ථානාධිපතිවරයා හෝ එම දිශාව භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුම්වත්ව නොසිටි බවද කියා සිටියේය. එය පෙත්සම්කරු විසින් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුකළ අනීතික මෙහෙයුමක් වන එබැවින් එම මෙහෙයුම පිළිබඳව ඔවුන් දැනුම්වත් නොමැති බව පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එවැනි දැනුම්වත් කිරීමක් සිදුකළ කර තිබුණේ නම් වෑන් රථයට එවැනි වෙඩි තැබීමක් සිදු නොවී තිබිය හැකි බව ද සඳහන් කළේය.
එහිදී මිය ගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ලබාදී ඇති අතර එවකට මහජන ආරක්ෂක ඇමැතිවරයාව සිටි ටිරන් අලස් මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ලබාදී ඇති බවද වැනි මුදලක් ලබාදුන්නේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන කළ යුතු බවද මාතර මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
එම වෙඩි තැබීමේ සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා අදාළ නියෝගය නිකුත් කර ඇති බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය. එවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාට පූර්ණ නීතිමය බලය සහ හැකියාව ඇති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම නියෝගය නීත්‍යනුකූල බවට කරුණු ඉදිරිපත් කළේය.
එබැවින් පෙත්සම්කරු ඉල්ලා සිටින සහන කිසිවක් ලබාදිය යුතු නැති අතර පෙත්සම මුල් අවස්ථාවකදී ඉවත දමන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී නැවත වරක් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ සිය සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට සහතික විය හැකි නම් ඔහුව ඉදිරිපත් කරන්න ඉදිරිපත් විය හැකි බවය.
එවැනි සහතිකයක් ලබාදිය නොහැකි බවට අතිරේක සොලිසිටර් දිලීප පීරිස් මහතා මෙහිදී නැවත වරක් කියා සිටියේය. අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතා එහිදී සඳහන් කළේ පොලීසිය හෝ නීතිපතිවරයා හෝ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මත පදනම් නොවී මහේස්ත්‍රාත්වරයා පිළිබඳව විශ්වාසය තබා පෙත්සම්කරුට අධිකරණයට ඉදිරිපත් විය හැකි බවය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ වැලිගම පොලිස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන් බවද වැඩබලන සභාපති විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරනවාද නැද්ද යන්න සහ පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් තැබීමට තීරණය කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල ඇතුළු දහ හතර දෙනකු නම් කර සිටිති.
2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘ඩබ්ලිව්. ෆිෆ්ටීන්’ හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු වූ බව පෙත්සමෙහි සඳහන් වේ.
එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු මරණයට පත්වී තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විමර්ශන කටයුතු සිදු කළ අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන ඇති බව පෙත්සම්කරු කියයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් සහිතව එම කටයුතු සිදුවන බවට ඔහු චෝදනා කර සිටී .
එබැවින් අදාළ පරීක්ෂණය ද්වේශ සහගත ආකාරයෙන් තමා ඉලක්ක කරගනිමින් සහ දේශපාලන බලපෑම් සහිත පක්ෂපාතීව සිදු වන බවද පෙත්සම්කරු කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බී වාර්තාවකට අනුව තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරු සඳහන් කර ඇත.
එසේම තමන්ගේ විදේශ ගමන් තහනම් කරමින් පසුගිය 01 වැනිදා නියෝගයක් නිකුත් කර තිබෙන බව ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බව ඔහු තවදුරටත් සඳහන් කර සිටී.
තමන්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීති විරෝධී මෙන්ම අසාධාරණ බව පෙත්සම්කරු කියයි.
ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා ඉල්ලා ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන අයගේ මැදිහත්වීමෙන් අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සිදු කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටී.
නෙල්කා මැදගෙදර