Wednesday, March 26, 2025
Home » ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පත්කරයි

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පත්කරයි

-සුගත් වසන්ත ද සිල්වා

by sachintha
March 13, 2025 7:00 am 0 comment

දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරී පත්විය.

ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂය ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කළේය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම පත්කර ගැනීම සිදුවිය.

කාරක සභාවේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය)සෙල්ලතම්බි තිලකනාදන් සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා මෙම සංසදය පිහිටුවීම සමානාත්මතාව, යුක්තිය, අන්තර්කරණය වෙනුවෙන් අප සියලු දෙනා එක්ව ගන්නා තීරණාත්මක ප්‍රවේශයක් බව පෙන්වා දුන්නේය. ආබාධ සහිත පුද්ගලයින්ට ආර්ථික හා සාමාජීය වශයෙන් තෘප්තිමත්,සමානව සැලකෙන සමාජයක් ගොඩනැඟීම මූලික දැක්ම විය යුතු බවත් ඒ සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන අධ්‍යාපනය, රැකියාව, ප්‍රවාහනය සහ අනෙකුත් සේවාවන්හි සම ප්‍රවේශතාවන් සහතික කෙරෙන සමාජයක් ගොඩනැඟීම මූලික අරමුණ විය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා තමන් සංසදයේ සභාපති ලෙස තෝරා පත්කරගැනීම පිළිබඳව සිය ස්තුතිය පිරිනැමීය. පාර්ලිමේන්තුවක් ලෙස ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකිකයින් දරන ආකල්පය සංවේදී හා ධනාත්මක බවට පත්කිරීමට මෙම සංසදය මඟින් මූලිකවම අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් දැනට පවතින වසර 28ක් පමණ පැරණි පනත පරිච්ඡින්න කර නූතනයට ගැළපෙන ලෙස සකස් කිරීමටත්, දැනට පවතින ජාතික ප්‍රතිපත්තියද අනාගතට ගැළපෙන ලෙස වෙනස් කිරීමටත් අපේක්ෂා කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය. මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT