හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රාශියකට ගමන් කරන ජනතාව දහස් ගණනක් භාවිත කරන මහවත්තේගම පාලම මේ වනවිට මරුකපොල්ලක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
හාලිඇළ නගරයේ සිට මහවත්තේගම, හපුවත්තේගම, අමුණුවලපිටිය, එළදළුව, දෙමටවැල්හින්න හා නෙල්ලිගස්හින්න ඇතුළු ගම්මාන රැසකට ගමන් කරන මාර්ගයේ බදුලු ඔය හරහා පිහිටි මහවත්තේගම පාලමෙහි ආරක්ෂිත පැති ඇඳි කැඩීගොස් වසර ගණනාවක සිට දැඩි අනතුරුදායක තත්ත්වයක් උද්ගතව පැවතීම විශාල අවදානමක් බවට පත්ව ඇත. මෙම පාලම මතින් දිනපතා ත්‍රිරෝද රථ, යතුරුපැදි ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් හා පාසල් ළමුන් ඇතුළු ජනතාව විශාල පිරිසක් ගමන් කරන බැවින් සුළු අතපසුවීමකින් මෙම ස්ථානයේ විශාල අනතුරක් හා ජීවිත හානි සිදුවීමට පවා ඉඩ පවතින බව ඔවුහු පෙන්වා දෙති.
හාලි ඇළ – බදුල්ල ප්‍රධාන මාර්ගයෙන් හැරී මහවත්තේගම දක්වා දිවෙන කොන්ක්‍රීට් මාර්ගයේ බදුලු ඔය හරහා පිහිටි මෙම පාලම වර්ෂ 2000 දී පමණ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එවකට රුපියල් ලක්ෂ 35ක පමණ වියදමකින් ඉදිකරන ලද්දකි. ඉන් කලකට පසුව කුමන හෝ හේතු මත මෙහි එක් පසෙක ආරක්ෂිත පැති ඇන්ඳ කැඩීගොස් තිබූ අතර මේ වනවිට පාලමේ දෙපසම පැති ඇඳි සම්පූර්ණයෙන්ම කැඩීගොස් තිබීමෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතවී ඇත. පවතින තත්ත්වය මත යම් අනතුරක් සිදුවීමට පෙර දහස් ගණනක් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම පාලමේ පැති ඇඳි නිසි ප්‍රමිතියකින් යුතුව පිළිසකර කරදීමට පියවර ගන්නා ලෙස ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න