බළන්ගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උළුපිටිය ග්‍රාම සේවා වසමේ කටුමැටි ගසා ඉදිකළ කුඩා අබලන් කාමරයක දරුවන් දෙදෙනකු සමඟ ඉතා දුක්බර ජීවිතයක් ගත කරන මවක සහ දරුවන් දෙදෙනකු පිළිබඳව අපට වාර්තා විය.
ජීවත්වීම සඳහා සුදුසු නිවෙසක් හෝ ආදායමක් නොමැතිකම හේතුවෙන් වයස අවුරුදු තිස් දෙකක් වන ඩබ්ලිව්.ඩී. චමිලා රෝෂණී නමැති මව සහ ඇගේ දස හැවිරිදි දැරිය සහ හතර හැවිරිදි පුතා මෙම කටුමැටි ගසා ඇති අබලන් කුඩා කාමරයේ ඉතාමත් අපහසුවෙන් ජීවත්වන අතර මෙම දරු පවුලට ජීවත්වීම සඳහා මවට ස්ථිර රැකියාවක් හෝ වෙනත් ආදායම් මාර්ගයක් නොමැතිකම හේතුවෙන් ඔවුහු දැඩි ආර්ථික අපහසුවට පත්ව අසරණ වී සිටිති.
දරුවන් දෙදෙනා සමඟ ගතකරන මෙම දුක්බර ජීවිතය ගැන චමිලා රෝෂණි මහත්මිය අප වෙත මෙසේ පැවසුවාය.
“උළුපිටිය ග්‍රාම සේවා වසමේ තමයි මේ කටුමැටි ගහපු කුඩා අබලන් නිවෙසේ දරුවන් දෙදෙනා සමඟ මම ඉතාමත් අපහසුවෙන් ජීවත්වෙන්නේ. මේ පර්චස් දෙකක ඉඩම විතරයි අපට තියෙන්නේ. ලොකු දුව උළුපිටිය පාසලේ 05 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. එයා මේ පාර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටිනවා. පොඩි පුතාට අවුරුදු හතරයි. එයා පෙර පාසල් යනවා.
මගේ සැමියා මීට වසර තුනකට පෙර මා සමඟ දරුවන් දෙදෙනා අතරමංකරලා ගෙදරින් පලා ගියා. එදා ඉඳන් ඉතාමත් අපහසුවෙන් විවිධ දුක්කම්කටලු මැද නොකා නොබී තමයි මේ දරුවන් දෙදෙනා ජීවත් කරගෙන ජීවිතය ගෙනයන්නේ. සැමියා අගලවත්ත පැත්තේ කෙනෙක්. එයා ඉන්න තැනක් දන්නේ නැහැ. හැමතැනම හොයලා බැලුවා. ඉන්න තැනක් හොයාගන්න බැරිවුණා.
රජයෙන් ලබා දෙන සමෘද්ධිය හෝ අස්වැසුම දීමනාවත් අපට නෑ. රජයෙන් ලබාදෙන කිසිම ආධාරයක් අපට ලැබිලා නෑ. මේ කටුමැටි කාමරය වැස්ස දවසට සම්පූර්ණයෙන්ම තෙමෙනවා. බිත්ති කපොලුවලින් සර්පයෝ ගෙට එනවා. දරුවන්ගේ පොත්පත්, ඇඳුම් පැලඳුම් ඔක්කොම තෙමිලා විනාශ වෙනවා. අපට බොන්න වතුර නැහැ. වතුර ගේන්නේ වෙනත් ගෙදරකට ගිහින්. වැසිකිළියක් නැහැ. මේ දරුවන් දෙදෙනා හැමදාම ලෙඩ වෙනවා. මේ අපිරිසුදු කාමරයේ ජීවත්වෙලා.
මම පොඩි දරුවා පෙර පාසලට එක්කගෙන ගිහින් ඇවිත් අහල පහල අයගේ තේ වතුවල දලු කඩන්න යනවා. දවසට රුපියල් තුන්සියයක් හාරසීයක් තමයි කුලී ආදායම විදිහට ලැබෙන්නේ. ඒකෙන් තමයි දරුවන්ගේ පොත්පත් අරන් දීලා, ඉස්කෝලේ යවලා, කෑම බීම සපුරා ගන්නේ. එක වේලක් කෑවොත් ඊ ළඟ වේල බඩගින්නේ. පොඩි දරුවට මාසයකට පෙරපාසල් ගාස්තු දෙදහස් තුන්සියයක් ගෙවන්න ඕනී. මෙහෙම දුක් විඳින අය තවත් ලංකාවේ ඉන්නව ද කිලයත් මට හිතෙනෙවා. මේ ජීවිතය මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
ඉතින් මම රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපට සමෘද්ධිය හෝ අස්වැසුම දීමනාව ලබාදෙන්න කියලා. නැන්නම් කවුරු හෝ අපේ දුක දැකලා බලලා මගේ දරුවන් දෙදෙනාට ඉගෙනගන්න වියදම් කරන්න මුදල් ආධාරයක් හෝ ලබා දෙනවානම් ඒක බොහොම පිනක්. ඒ වගේම රජයේ බලධාරීන්ගෙන් හෝ උදව් උපකාර කරන්න කැමැති අයගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් දෙදෙනාට ජීවත් වෙන්න කුඩා නිවෙසක් හෝ හදලා දෙන්න කියලා.
කවුරුන් හෝ අපට උදව් කරන්න කැමැතිනම් මහජන බැංකුවේ, බළන්ගොඩ ශාඛාවේ ඩබ්ලිව්.ඩී.චමිලා රෝෂණී ලක්මාලි නමින් ඇති (017-2-001-3-0096358) ගිණුම් අංකයට මුදල් උපකාර කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මගේ දුරකතන අංකය 075 758 49 21
දස හැවිරිදි දිනිති මල්ෂා දැරිය පැවැසුවේ. “අපිට ඉන්න හොඳ ගෙයක් නැහැ. මැටි ගහලා හදපු මේ ගෙදර තියෙන්නේ එක කාමරයයි. වැස්ස දවසට මල්ලිගෙයි මගෙයි පොත්, ඇඳුම් ඔක්කොම තෙමෙනවා. අපට පාඩම් කරන්න තැනකුත් නැහැ. පන්ති යන්නේත් නැහැ අම්මිට සල්ලි අඩුපාඩු නිසා. මම මේපාර ශිෂ්‍යත්ව විභාග ලියනවා. අනිත් යාළුවෝ පන්තිවලටත් යනවා. මට යන්න විදිහක් නැහැ ඉතින්. කවුරු හරි මාමා කෙනෙක් හෝ නැන්දා කෙනෙක් අපට උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.”
බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන