Wednesday, March 26, 2025
Home » එන්එස්එල් සිවුදින තරගාවලිය අද ඇරඹේ

එන්එස්එල් සිවුදින තරගාවලිය අද ඇරඹේ

by sachintha
March 13, 2025 4:44 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රධානතම දේශීය තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලිය අද (13) ආරම්භ වෙයි.

ගාල්ල, කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය කණ්ඩායම් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග ලබන මස 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ලබන මස 27 වැනිදා සිට එස්එස්සී ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරගයට එක් වෙයි.

පසුගිය වර ශූරයන් වූ ගාල්ල කණ්ඩායම මෙවර තරගාවලියේදී මෙහෙයවීමේ වගකීම පසිඳු සූරියබණ්ඩාරට හිමිව ඇති අතර, එවර ජයග්‍රාහී නායක රමේෂ් මෙන්ඩිස්ට උප නායකත්වය හිමිව තිබේ.

පසුගිය අනුශූර මහනුවර පිල සහන් ආරච්චිගේ මෙහෙයවන අතර, නුවනිඳු ප්‍රනාන්දු උප නායකයායි. ශ්‍රී ලංකා සීමිත ඕවර නායක චරිත් අසලංක කොළඹ පිලත්, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා දඹුල්ල කණ්ඩායමත් මෙහෙයවන අතර, පිළිවෙළින් එම කණ්ඩායම් ද්විත්වයේ උප නායකයන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු සහ නිශාන් මදුෂ්ක කටයුතු කරති. ජනිත් ලියනගේගේ නායකත්වයෙන් තරග වදින යාපනය කණ්ඩායමේ උප නායකත්වයට අහන් වික්‍රමසිංහ පත් කර තිබේ.

මේ දිනවල ජාතික ක්‍රිකට් කණ්ඩායමට විවේකය හිමිව ඇති බැවින් ඔවුන් එන්එස්එල් තරගාවලියට එක්වනු ඇත. ඒ හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට ඉතා උණුසුම් තරගාවලියක් දැකගැනීමට අවස්ථාව උදාවනු ඇත.

තරග කාලසටහන

අද (13) – 16: ගාල්ල – මහනුවර (හම්බන්තොටදී), යාපනය – කොළඹ (ගාල්ලේදී)

මාර්තු 20 – 23: කොළඹ – මහනුවර (හම්බන්තොටදී), දඹුල්ල – ගාල්ල (ගාල්ලේදී)

මාර්තු 27 – 30: කොළඹ – දඹුල්ල (දඹුල්ලේදී), මහනුවර – යාපනය (කොළඹදී)

අප්‍රේල් 3 – 6: යාපනය – ගාල්ල (හම්බන්තොටදී), මහනුවර – දඹුල්ල (කොළඹදී)

අප්‍රේල් 20 – 23: ගාල්ල – කොළඹ (දඹුල්ලේදී), දඹුල්ල – යාපනය (පල්ලෙකැලේදී)

අප්‍රේල් 27 – 30: අවසන් මහා තරගය (එස්එස්සී පිටියේදී)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT