Friday, May 2, 2025
Home » පාකිස්තානයේ නව පෝලියෝ ආසාදිතයෝ 6ක්

පාකිස්තානයේ නව පෝලියෝ ආසාදිතයෝ 6ක්

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

පාකිස්තානයේ දීපව්‍යාප්ත පෝලියෝ වැඩසටහන් මඟින් මේ වසරේ මාර්තු මස ආරම්භ වන විට දරුවන් මිලියන 45කට වැඩි සංඛ්‍යාවකට පෝලියෝ එන්නත ලබාදීමට සමත්වූවද, ගත වූ මාස දෙකකට අධික කාලය තුළ නව පෝලියෝ රෝගීන් 6 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය ඇමැති සයිඩ් මුස්තාෆා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන පෝලියෝ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ගෝලීය පෝලියෝ තුරන් කිරීමේ වැඩසටහන යටතේ 90 දශකයේ දී ආරම්භ වූවද, මෙතෙක් ලොව පෝලියෝ තුරන් කිරීමට නොහැකි වූ රටක් බවට පත්වීමට පාකිස්තානයට සිදු වී ඇත්තේ වැරදි තොරතුරු පැතිරීම සහ මහජන දැනුම්වත්භාවයේ දුර්වලතා හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඇතැම් ආගමික කණ්ඩායම් පෝලියෝ එන්නත්කරණයට එරෙහිවීමත්, ඇතැම් ප්‍රාන්තවල ක්‍රියාත්මක වන ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන අඩාළ වීමත් තවත් හේතුවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම එම වැඩසටහන සඳහා එක්වන ජාත්‍යන්තර නිලධාරීන්ට විදේශීය බුද්ධි සංවිධාන සමඟ සම්බන්ධතා තිබිය හැකි බවට රජය සැක පහළ කිරීම ද වැඩසටහන අඩාල වීමට හේතුවී ඇතැයි වාර්තා වේ. 2011 වසරේදී උසාමා බිල් ලාඩන් ඝාතනය කිරිම සඳහා තොරතුරු එක්රැස් කිරීමට සීඅයිඒ සංවිධානය පාකිස්තානය තුළ ව්‍යාජ පෝලියෝ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT