Saturday, May 3, 2025
Home » ඉතාලියේ සිටින ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය කඩිනමින්

ඉතාලියේ සිටින ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය කඩිනමින්

by chanaka
March 15, 2025 2:28 pm 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබාදීම කඩිනමින් සිදු කිරීමට එරට රාජ්‍ය එකඟතාව පළ කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවසීය.

ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රයේ තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා අදාළ බලපත්‍රය හඳුනා ගැනීමට ඉතාලි රාජ්‍යයට නොහැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගැටලුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඉතාලි රාජ්‍යයට හඳුනා ගත හැකි පරිදි මෙරටින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් අදාළ තාක්ෂණික දෝෂ මඟ හරවා ගෙන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කළ හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අවුරුදු පහෙන් පහට මෙම බලපත්‍රය අලුත් කළ යුතු බවත් 2017 වසරේ අත්සන් කළ පසුව 2022 වසර වන විට එය අවසන් වන අතර මේ දක්වා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අසමත් වී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

2022 වසරේ සිට මේ දක්වා ඉතාලියේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ක්‍රියාත්මක කර නොමැති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එය වත්මන් ආණ්ඩුවේ වරදක් නොවන බවත් හිටපු තානාපතිවරු නිසා ඇති වූ ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස ඉතාලි රියදුරු බලපත්‍ර 2022 වසරෙන් පසුව මේ වන තෙක් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නොලැබුණු බවත් ඇමැතිවරයා කියා සිටියේය.

එය නැවත ලබා ගැනීමට දෙරට අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් එම බලපත්‍රය ශ්‍රී ලාංකිකයන් නිකුත් කිරීමට ඉතාලි රජය එකඟ වී ඇති බවත් ඇමැතිවරයා කීය.

පසුගිය ඔක්තෝබර් මාසයේ පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව රටවලට ඉතාලි වීසා දීම තහනම් කර තිබූ බවත් මේ මස 04 වැනිදා සිට එම තහනම ඉවත් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT