- සංගීත භාණ්ඩ-බඩුමුට්ටු කුඩු කරලා
- 6ක් අත්අඩංගුවට
- පාඩුව ලක්ෂ 50යි – පොලීසිය කියයි
- නෑ: කෝටි හතරයි – සංවිධායක මණ්ඩලය
පොලොන්නරුව, මැදිරිගිරිය, දිවුලන්කඩවල ඉකුත් 14දා පැවති සංගීත ප්‍රසංගය අතරතුර සංගීත ලෝලීන් පිරිසක් කලා කාරී ලෙස හැසිරෙමින්, සංගීත භාණ්ඩ ඇතුළු දේපළවලට පහරදෙමින් කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මැදිරිගිරිය, දිවුලන්කඩවල, මීගස්වැව ඇතුළු අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු විසිපහත්, තිහත් අතර වයසේ පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම සංගීත සංදර්ශනය නැරඹීමට රුපියල් 1,000ත් 2,500ත් අතර මුදලක් ප්රේක්ෂකයන්ගෙන් අයකර ඇති බවත් මෙය ටිකට් පත්‍ර මුද්‍රණය කර මුදලට පෙන්වූ සංගීත සංදර්ශනයක් බවත් පොලීසිය සඳහන් කරයි.
මේ සඳහා දිවයිනේ ජනප්‍රිය රැප් ගායකයකු සහ තවත් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායකයන් දෙදෙනකු සහභාගි වන බවට පූර්ව ප්රචාරක කටයුතු සිදුකර තිබී ඇත. ටිකට් පත්‍ර මිල දීගෙන වැඩි දෙනෙක් සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණ ඇතැයි පැවසෙන්නේ එම ශිල්පීන් සහභාගිවන බව සඳහන් කර තිබීම නිසා බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. රැප් ගායකයා ගිනි අවි සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී සිටීම හේතුවෙන් ඔහුට මෙම සංගීත සංදර්ශනයට සහභාගිවීමට නොහැකි වී ඇත. සෙසු ගායන ශිල්පීන් දෙදෙනා පැමිණ ඇතත් ඔවුන්ට පොරොන්දු වූ මුදල් නොලැබීම හේතුවෙන් වේදිකාවට ගොඩනොවී ආපහු හැරී ගොස් ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
13 වැනිදා රාත්‍රී 9.30ට පමණ සංගීත සංදර්ශනය ආරම්භ වී ඇති අතර ආරාධිත ගායක ගායිකාවන් කිහිප දෙනෙක් ද එයට සම්බන්ධවී ඇත. මේ අවස්ථාව වන විට ජනප්‍රිය ගායක කණ්ඩායමක් විසින් ගීත ගායනා කර සිට ඇති අතර ඔවුන්ට රුපියල් ලක්ෂ 4ක මුදලක් සංවිධායකයන් විසින් ගෙවා තිබේ. පසුව තවත් ලක්ෂ 2ක් දී තවත් ගීතයක් ගායනා කරන ලෙස දැනුම් දුන්නද ඔවුන් වෙලාව නිම වූ බව කියමින් වේදිකාවෙන් බැස ගොස් ඇත. ඒ අවස්ථාවේදී 1.30 ට ආසන්න බැවින් සංගීත ප්‍රසංගය නිම වන බව දැනුම් දීමත් සමඟ කලහකාරී තත්ත්වය මතුව ඇතැයි පොලීසිය පවසයි.
ඒත් සමඟම කලහකාරීව හැසිරීමට ගත් සංගීතලෝලීන් ප්‍රේක්ෂකයන්ට අසුන් ගැනීමට තබා තිබූ ප්ලාස්ටික් පුටුවලට මුලින්ම පහර දී ඒවාට හානිකර ඇත. පසුව එම ප්ලාස්ටික් පුටුවලින් වේදිකාවට ද පහර දී තිබේ. අනතුරුව වේදිකාව මතට නැඟ සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ, ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණවලට ද පහර දී හානිකර තිබේ.
හානිකර ඇති දේපළවල වටිනාකම ගණනය කරන බවත් රුපියල් ලක්ෂ 50 ඉක්මවන දේපළ හානියක් සිදුව ඇති බවත් පෙනී යන බවත් පොලීසිය සඳහන් කරයි. හානිවීම් සම්බන්ධයෙන් එක් එක් කණ්ඩායම් වෙන වෙනම පැමිණිලි කරන බවත් සංවිධායක මණ්ඩලය විසින් සඳහන් කරන ආකාරයට අනුව හානිය රුපියල් කෝටි 04ක් පමණ ඇති බවත් කියවේ. පොලීසිය සඳහන් කරනු ලබන්නේ හානිය නිසි ලෙස තක්සේරු කිරීමක් ඊයේ (16) සවස්වන තුරුම සිදුනොවූ බවය.
මෙම පහරදීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ආරක්ෂක කැමරා සහ ජංගම දුරකතනවල සටහන්ව ඇති දර්ශනවලට අනුව සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් පොලීසිය සඳහන් කරයි. හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගෙන් අප දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ, මේ වනවිටත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර සැකපිට හය දෙනකු අත්අඩංගුවට ගත්තද නිශ්චිත වශයෙන් මෙම සිද්ධියට ඔවුන් සම්බන්ධ ද නැද්ද යන්න සොයා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත්ය.