රුපියල් ලක්ෂ 10ක් වටිනා විදේශ මත්පැන් බෝතල් 41ක් සහ කරදමුංගු කිලෝග්‍රෑම් 25ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක
ගුවන්තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගියකු පසුගිය 13 දින රාත්‍රී ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මොහු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඉන්දියාවේ කොචින් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 168 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ මෙම පුද්ගලයා
ගුවන්තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ශ්‍රී ලංකාවට අවසරයකින් තොරව කරදමුංගු ආනයනය කිරීම තහනම් වන අතර, විදේශීය මත්පැන් රැගෙන ඒමේදී ද එම දීමනාව ඇති ගුවන් මගීන්ට පමණක් ලීටර් 2.5ක ප්‍රමාණයක් ගුවන් තොටුපොළෙන් රැගෙන යෑමට අවසරය හිමිව තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.