අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතා වටයේදී යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගය ලකුණු 24-17කින් ජය ගැනීමට සමත්වූවද, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට පොලිස් ක්‍රීඩා සමාජයට සිදුවිය.
ඒ අනුව ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයට පලඟ ශූරතාව හිමි විය. පොලිස් පිටියේ පසුගියදා පැවති මේ තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 14-3කින් පෙරමුණ ගත් පොලිස් පිල තරගය පුරා ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කිරීමට සමත්වූ අතර, යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක් සහ දඬුවම් පහරක් පමණි.
මෙවර ලීග් තරගාවලිය නිමාවට පත් කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ නිත්තවෙලදී පැවති තරගය ලකුණු 50-24කින් ජයගත් මහනුවර පිල තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය. පසුගිය සති අන්තයේදී සීආර් පිල පරාජය කරමින් තරගයක් ඉතිරිව තිබියදිම ලීග් ශූරතාව තහවුරු කරගත් මහනුවර ක්‍රීඩකයන් ඊයේ තරගයේ පළමු භාගය අවසන් වනවිට ලකුණු 31-10 කින් පෙරමුණ ගත්හ. මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 6ක්, සහ උත්සාහක දිනුමක් ඇතුළත් වූ අතර, හැව්ලොක් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 3ක් සහ දඬුවම් පහරක් එක්විය.
මේ අතර පලඟ ශූරතා වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පෙරේදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැති තරගය ලකුණු 41-38කින් ජයගත් නාවික හමුදා පිල මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලියට නිමාවට පත් කරගත්තේය. නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 4ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් එක්වූ අතර, ශ්‍රී ලයන්ස් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 4ක් සහ උත්සාහක දිනුම් 2ක් ඇතුළත් විය. තරගයේ පළමු භාගය අවසන් වූයේ ලකුණු 34-21ක් ලෙස නාවික හමුදා පිල ඉදිරියෙන් තබමිනි.
කුසලාන වටයේ සීආර් සහ ගුවන් හමුදා පිල අතර එදිනම සීආර් පිටියේ පැවති තරගයෙන් ලකුණු 31-16ක ජයක් සීආර් පිලට හිමි විය. පළමු භාගය අවසන් වන විට ලකුණු 9-7කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිල සමත්වූවද, දෙවැනි භාගයේදී සිය සුපුරුදු දස්කම් අතරට පිවිසි සීආර් ක්‍රීඩකයෝ තරගය පුරා ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කළහ. ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට එක්වූයේ ගෝලයක් සහ දඬුවම් පහර 3ක් පමණි.