කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම සඳහා පවරාගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රජයේ ඉඩම කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධව රිමාන්ඩ් කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු ලබන මාර්තු මස 24 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (17) නියම කළාය.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධව මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් අධිකරණය මග හරිමින් සිටින හිටපු ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා ඇතුළු තිදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද ඊයේ (17) අධිකරණයෙන් නියම කෙරිණි.
මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් සහ තරංග නවීන් වීරකෝන් යන තිදෙනාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ ගත වීම තහනම් කරනු ලැබුවේ හිටපු ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් ‘සිංගප්පූරු සරත්’ යන තිදෙනාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
‘මේ වන විට නිතීපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන පොදු දේපොළ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. මීට අමතරව මෙම කූට ලේඛන සකස් කර වංචා කර ඇති ඉඩමේ මේ වන විට කඩ කාමර 32 කින් සමත්විත ගොඩනැඟිල්ලක් ඉදි කර ඇති බවටත් මීට අමතරව තවත් ඉඩම් කොටස් කිහිපයක් විවිධ පුද්ගලයන්ට පවරාදී ඇති බවට හෙළිවෙලා තිබෙනවා. මේ වන විට මෙම ඉඩම කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බවට තොරතුරු අනාවරණය වන බැවින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා. මෙම සිද්ධිය සම්බන්ධව මේ වන විට අධිකරණය මගහැර පලාගොස් සිටින හිටපු ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රි මිල්රෝයි පෙරේරා සහ දොන් සරත් කුමාර එදිරිසිංහ යන සැකකරුවන් විදේශගතවීමේ අරමුණක් ඇති බවට හෙළි වන නිසා ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීමට නියම කරන ලෙසට ඉල්ලා සිටිනවා’.
සැකකරුවන් වෙනුවන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව නීතිපතිවරයා ලිපියක් මඟින් ඒවා ඇති මුල් අවස්ථාවේ එය පොදු දේපොළ පනත යටතේ සටහන් කර නොමැති බවත් පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එය පොදු දේපොළ පනත යටතේ සටහන්වී තිබීම ගැටලු සහගත බවත් සඳහන් කළේය.
ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කර මෙහි රිමාන්ඩ් කර සිටින සැකකරුවන් තිදෙනාට ඇප ලබා දෙනවාද යන්න පිළිබඳව ලබන මාර්තු මස 24 වැනි දින නියෝග ලබාදෙන බවට නියම කළාය.
මෙම නඩුවට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් මහර බන්ධනාගාරයේ සිට ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. විජේතුංග සහ එහි උප පොලිස් පරික්ෂක සම්පත් යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.