Monday, April 28, 2025
Home » වෛවාරණ ලෝකෙක වර්ණ ගැන වර්ණනාවක්

වෛවාරණ ලෝකෙක වර්ණ ගැන වර්ණනාවක්

by sachintha
March 24, 2025 4:44 pm 0 comment

පාට පාට ලෝකෙක ජීවත් වෙන අපිට ඉතින් පාට කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. පාට නම් ඉතින් කොච්චර තියෙනවා ද අප අවට. නිකමට වටපිට බැලුවොත් ඕනතරම් පාට හොයාගන්න පුළුවන්. පාටවලට වර්ණ කියලත් කියනවනේ. මාර්තු 21 කියන්නේ ජාත්‍යන්තර වර්ණ දිනය. ඉතින් y වාරණ පිටුවට වර්ණ ගැන වෙනස් සටහනක් තබන්න හිතුවා.

ජාත්‍යන්තර වර්ණ දිනය යනු කුමක්ද කියලා බලමු. (ජාත්‍යන්තර වර්ණ සංගමය) මාර්තු 21 ජාත්‍යන්තර වර්ණ දිනය ලෙස තෝරාගෙන තියෙනවා. මක්නිසාද යත් උතුරු අර්ධගෝලයේ මෙම දිනය “වසන්ත සමගිය” සනිටුහන් කරන නිසා සම = සමාන සහ nox = රාත්‍රිය, එම නිසා විශ්වය ආසන්නයේ දී රාත්‍රිය සහ දිවා කාලය ආසන්න වශයෙන් දිග සමාන වෙනවා. මෙය සංකේතාත්මකව ආලෝකයේ සහ අඳුරෙහි අනුපූරක ස්වභාවය නියෝජනය කරනවා. ආලෝකය සහ සෙවණැල්ල ප්‍රකාශිත ලෙස අපි තවමත් මානව සංස්කෘතීන්ගෙන් සහ සොබාදහමෙන් ආලෝකය වෙත ගමන් කරනවා. වර්ණ දිනය සම්බන්ධයෙන් එහෙම අදහසක් තියෙන්නේ.

නිල්, කහ, රතු කියන්නේ ප්‍රාථමික වර්ණ. ඒවා අපිට එක එක පාට කලවම් කරලා හදාගන්න බෑ. ඒක නිසා ඒවට මූලික වර්ණ කියලත් කියනවා. ද්විතීයික වර්ණ කියන්නේ අපි ප්‍රාථමික වර්ණ කලවම් කරලා හදාගන්න පාටවලට. රතු, කහ පාටවලින් තැඹිලි පාට ද, කහ, නිල් පාඨවලින් කොළ පාට ද හැදෙනවා. නිල් සහ රතු පාට එකතුවෙලා දම් පාට නිර්මාණය වෙනවා.

ඒ වගේ ම තෘතීය වර්ණත් තියෙනවා. ද්විතීයික වර්ණ දෙකක් සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කළා ම තමයි ඒවා හැදෙන්නේ. දම් සහ තැඹිලි වර්ණ එක් වුණාම තෘතීය රතු වර්ණය නිර්මාණය වෙනවා. තැඹිලි සහ කොළ වර්ණ එකතුවෙලා තෘතීය කහ වර්ණය හැදෙනවා. මේ ආකාරයට තමයි වර්ණ නිර්මාණය වෙන්නේ.

සුදු ආලෝකය හැදිලා තියෙන්නේ දේදුන්නෙ පාටවලින්. මොකක් හරි වස්තුවක් උඩට ආලෝකය වැටුණාම ඒ වස්තුවේ පාට, ආලෝක කිරණය විතරක් පරාවර්තනය කරනවා. ඉතිරි පාටවලට අදාළ කිරණ, වස්තුව මඟින් අවශෝෂණය කරනවා. එහෙම තමයි අපිට වර්ණ පෙනෙන්නේ. පොඩි ළමයි හරි කැමැති දෙයක් තමයි චිත්‍ර පාට කරන්න. පැස්ටල් තමයි වැඩිපුරම ඒකට ගන්නේ. දියසායම් පාවිච්චි කරන්නේ ටිකක් ලොකු වෙනකොට. ගෙවල් පින්තාරු කරන්න නම් ඉතින් තීන්ත හෝ හුනු තමයි යොදා ගන්නේ. ඒවටත් විවිධ පාට නැත්නම් වර්ණ තියෙනවා. දේදුන්නේ සත් පාට හංගලා කියලා අහලා ඇතිනේ. අපි ඒ කාලේ ඔය පාට හත පාඩම් කරේ මෙහෙමනේ. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී කියලානේ.

රතු, තැඹිලි, කහ, කොළ, නිල්,ඉන්දිගෝ, දම් කියන වර්ණ හත තමයි දේදුන්නේ දකින්න ලැබෙන්නේ. පාට අඳුරගන්න අමාරු රෝගයක් තියෙනවා. ඒකට කියන්නේ වර්ණ අන්ධතාව කියලා .

රන්වන් පාටයි සමනලයා

රෝස මලේ පැණි බීලා ගියා

ආයෙත් එනව ද ඒ සමනලයා

මල්වල පැණි බොන්ටා…

මේ ගීතය නොකී කෙනෙක් නැතුවැති. සමනල්ලු විවිධ පාටයි. උන් යන්නේ පාට පාට මල් හොයාගෙන. “මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට” කියලා කියනවනේ. රෑට පිපෙන මල් බොහෝ දුරට සුදු පාටයි.

එක එක අය කැමැති එක එක පාටටනේ. කවුරුත් කැමැති සුදු පාටට ඉන්න. එහෙම කියද්දී පවා මූණ පාටවෙනවා. මිනිස්සු කොච්චර බෙදිලා හිටියත් හැමෝගෙම ඇඟේ දුවන්නේ රතු පාට ලේනේ. ඒ රතුපාට ලේ, සුදු පාට කිරි බවට පත් කරන්න පුළුවන් අම්මට විතරයි. අවට වැඩියෙන්ම තියෙන්නේ කොළ පාට. ඒ ඉතින් ගස්වැල් නිසා. හැබැයි පෘථිවිය නිල්පාට. ඒනම් ජලය නිසා.

“නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු” කියලා කියනවනේ. අහස නම් ලස්සන නිල් පාටට තියෙද්දී. හොඳට කල්පනා කරලා බලන්න” හීනවලට පාටක් තියෙනවා ද කියලා. හීන පාට කරලා දෙන්න හදන අයත් ඉන්නවා. ඉස්සර අපි ටීවී බැලුවේ කළු සුදු. ඒ පාට දෙක විතරයි .දැන් බලන්න හැමදේම පාට පාට වෙලා.

චාම්ම පාට තමයි සුදු. ස්කෝලේ අඳින්නේ සුදු. මළගෙදර අඳින්නේ සුදු. උසාවියට, පන්සලට ඇඳන් යන්නේ සුදු පාට ඇඳුම්. හැබැයි ඉතින් සමහරු කැමැතිම තද පාට අඳින්න. මඟුල් ගෙදරක යද්දී නම් ඉතින් ලස්සනයි පාට ඇඳුම්. පාරේ යද්දී අකැමැතිම පාට රතු. කැමැතිම පාට කොළ. ඇයි එහෙම කියන්නේ කියලා බැලුව නේද ? ඔව් කලර් ලයිට් හමුවෙනවනේ. රතු වැටුණොත් කවුද කැමැති ඒකට. කොළ තමයි ආසම. එල්ලේ වගේ ක්‍රීඩාවල දැවී ගියා කියලා පෙන්වන්නේ රතු කොඩිය එසෙව්වමනේ. ක්‍රිකට් ගහද්දි ඉස්සර අවුට් නම්, රතු නැත්නම් කොළ ලයිට් එක තමයි තුන්වෙනි විනිසුරු දැල්වුයේ. මතක ඇති බයෙන් බයේ බලාගෙන හිටපු හැටි.

“පාට පොඳක් තිලක ලා නළල් තලාවේ” කියන ජෝතිපාල ගයන ගීතය අහපු කෙනෙක් නම් නැතුවැති. ඔය අස්සෙ එක පාටට මරාගන්න මිනිස්සුත් ඉන්නවා. කැපුවත් මේ පාට කියලා තමයි එයාලා කියන්නේ. පාට කණ්ණාඩි ගලවන්න පුළුවන්නම් තමයි ඉතාම වටින්නේ.

“දම්පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි.” කිව්වම කොච්චර දේවල් මතක් වෙනව ද අපට. “සිලිලාරෙක හෙල් මැලී

පෙති අතරින් සැලි සැලී” කියන චන්ද්‍ර‍රත්න මානවසිංහ මහතා ලියූ සිනා කුමාරි පද්‍ය පන්තියේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පාට ගැන මුනිදාස කුමාරතුංගයන් වැහි වලාකුළ යන පද්‍ය පන්තියෙන් සුදු සහ කළු වලාකුළු යොදාගෙන සුදන, දුදන අතර වෙනස බොහොම අගේට කියනවා. හෝලි උත්සවයත් වර්ණ ගැන කියද්දී අමතක කරන්නම බෑ. එම උත්සවය හරිම වර්ණවත්. සිංහල අලුත් අවුරුදු උත්සවේත් වර්ණත් එක්ක බැඳෙනවා. රතු එරබදු මල් පිපෙනවා. නිවෙස් වර්ණගන්වනවා.

වර්ණ ගැන නම් කොතරම් දේවල් කතා කරන්න පුළුවන් ද? ලෝකයේ කොපමණ වර්ණ තිබුණත් යහපත් මිනිසුන්ගේ හදවතේ තමයි ලස්සනම වර්ණ තියෙන්නේ.ආදරය, කරුණාව වගේ ගුණාංගවල ඇති වර්ණ ඇත්තටම වර්ණවත්.

මනෝජ් ප්‍රසන්න අබේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT