Saturday, May 10, 2025
Home » ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කරනවා

ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කරනවා

-ලෝක ජල දින සැමරුමේදී අගමැතිනිය කියයි

by sachintha
March 24, 2025 4:38 pm 0 comment

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය පැවසුවාය.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සංවිධානය කළ ලෝක ජල දින සැමරුමට පසුගිය 20 වැනිදා සහභාගි වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී ජල සම්බන්ධතා ලබාදීම සඳහා නිර්මාණය කළ විශේෂ මෘදුකාංගයක් එළිදැක්වීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ලෝක ජල දිනයට සමගාමීව පැවති දීපව්‍යාප්ත පාසල් නාට්‍ය හා රචනා තරග ජයග්‍රහණය ලැබූ සිසු දරුවන් වෙත සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමත්, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මණ්ඩලීය වෘත්තීයවේදීන් වෙත සම්මාන හා පදක්කම් ප්‍රදානය කිරීමත් සිදු කෙරිණි.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.

Ò ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට 2025 වසරේ මංගල අය-වැය මඟින් රුපියල් මිලියන 41, 234 ක අරමුදල් වෙන් කිරීමට නිර්දේශ කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීම මෙන්ම ආරක්ෂිත ජල සැපයුම් සහතික කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ගම්පහ – අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, පොල්ගහවෙල – අලව්ව සහ පොතුහැර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සහ ආර්ථික අර්බුදය නිසා අදාළ ණය දෙන්නන් විසින් ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් නිම කිරීම ප්‍රමාද වී ඇති තඹුත්තේගම ජල සැපයුම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහාත් මෙවර අය-වැයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

ඒ නිසා ශ්‍රී ලංකාවේ පුරෝගාමී කීර්තිමත් ආයතනයක් ලෙස අප රජයේ ප්‍රතිපත්තිය වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ‘ යන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට වඩා ශක්තියෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන්න.”

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස ඇමැති අනුර කරුණාතිලක, තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, නිවාස නියෝජ්‍ය ඇමැති ටී. බී. සරත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු දීප්ති යූ. සුමනසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT