අපේ රටේ ප්‍රධාන සුළු අපනයන භෝගයක් වන කරාබු දළ වශයෙන් වසරකට මෙට්‍රික් ටොන් 3000 සිට 6000 දක්වා විදේශ රටවලට අපනයනය කරනු ලබයි. එසේ අපනයනය කිරීමෙන් රටට ලැබෙන ආදායම දළ වශයෙන් රුපියල් මිලියන දසදහසකි. සංඛ්‍යා ලේඛන අනුව 2023 වසරේ අපනයනය කර ඇති කරාබු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3611.36 ක් වන අතර, ඒ හරහා උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 10857.94කි. 2024 වසරේ අපනයනය කර ඇති කරාබු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 894.13කි. උපයාගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 3618.54කි.
මේ සා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙමින් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙරදරන කරාබු ගොවීන් බොහෝ දෙනෙක් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර කරාබු නෙළන්න යාමෙන් අනතුරුවලට ගොදුරු වී ඔවුන්ගේ ජීවිතවලට පවා හානි සිදුවී ඇති අතර, සමහරු සදාකාලික අබාධිතයන් බවටද පත්ව සිටිති. එසේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර කරාබු අස්වැන්න නෙළන පිරිසට නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට උපදෙස් දීමට වර්තමානයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානමින් සිටී. පසුගිය 21වැනිදා මේ සම්බන්ධව ගන්නොරුවේදී අප හා අදහස් පළ කළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්.කේ.ඩබ්ලිව්. රන්කෙත්කුඹුර මහතා කියා සිටියේ, කරාබු අස්වැන්න නෙළා ගන්නට නවීන තාක්ෂණය උපයෝගි කරගත හැකි බවත් ඒ සම්බන්ධ දැනුම ලබාදෙන්න තමන් ඇතුළු නිලධාරීන් නිතරම සූදානමින් සිටින බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධ්‍යක්ෂවරයා කියා සිටියේ කරාබු අපනයනය කිරීමෙන් ලැබෙන විදේශ විනිමය ග්‍රාමිය ආර්ථිකය නන්වාලීමට උපකාරී වන බවය.
ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කරාබු අස්වැන්න නෙළාගන්නා පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රොජර්සන් ග්‍රාමයේ ඉන්නා බවට ලද තොරතුරකට අනුව අපි එම ප්‍රදේශයට ගියේ ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීම පිණිසය.
කරාබු බහුලව තිබෙන රොජර්සන් ග්‍රාමයට ගිය අප හට එහි වෙසෙන ගොවියෝ බොහෝ දෙනා නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කරාබු අස්වැන්න නෙළා ගන්නා අයුරු දැකගත හැකිවිය. එම ගොවීන් කරාබු අස්වැන්න නෙලා ගත්තේ ඉණට පටියක් සහිත උපකරණයක් පැලඳ එම පටිය ගහේ කඳට සවි කර ඉතාමත්ම ආරක්ෂාකාරී අයුරිනි.
මෙසේ ආරක්ෂාකාරී අයුරින් කරාබු අස්වැන්න නෙළමින් සිටි මයුරපාල ගුණසේකර මහතා මෙසේ පැවසීය.
“අපි බොහෝ කාලයක් සාම්ප්‍රදායික විදියට කරාබු කැඩුවේ නිකන්ම ගහට ගොඩවෙලා අතුවල එල්ලිලා අමාරුවෙන්. එම අවස්ථාවල බොහෝ දෙනෙක් ගස්වලින් වැටිලා අතපය කැඩුණා. සමහරුන්ගේ ජීවිත පවා නැති වුණා. ඒ නිසා කරාබුවලින් දිවි සරි කරගත් සමහරු අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. නමුත් දැන් අපි මේ නවීන ක්‍රමවේද අනුගමනය කරමින් කරාබු අස්වැන්න නෙළා ගන්න නිසා අපිට හානි සිදු වෙන අවස්ථා බොහෝම අවමයි. අපි දැන් ඉණට පටියක් දාලා ඒක ගහේ සවි කරලා ආරක්ෂිත විදියට අස්වැන්න නෙළා ගන්නවා. මේ ප්‍රදේශයේ කිතුල් කර්මාන්තයත් බහුලව තිබෙනවා. ඉතින් අපිට මේ ගස්වල යන්න අවශ්‍ය උපකරණ ගොවි සංවිධාන හරහා ලබා දුන්නා. ඒ ක්‍රම අනුගමනය කරමින් තමයි අපි දැන් අස්වැන්න නෙළා ගන්නේ. ඇත්තටම කරාබු කඩන්න තරුණ පිරිස ආවේ නැහැ, ඒ අය ගස් නඟින්න බය නිසා. නමුත් දැන් මේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන නිසා ඒ අයත් එනවා අපිත් එක්ක කරාබු කඩන්න.
කෙතරම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන පිරිස් සිටියත් සමහරු එම ක්‍රම අනුගමනය නොකිරීමෙන් කරාබු අස්වැන්න නෙළා ගන්නට ගොස් අනතුරුවලට ලක්ව සිටින පුද්ගලයින් ගැනද තොරතුරු අනාවරණය වී තිබේ.
රොජර්සන්ගම නිමල් චන්ද්‍රරත්න මහතාගේ බිරිය කියා සිටියේ, තම සැමියා රැකියාවක් විදියට කරාබු, ගම්මිරිස් කඩන බවත් පසුගිය 09 වැනිදා කුලියට කරාබු කඩමින් සිටියදී ගසට ගැට ගසා තිබුණු ලණුපට කැඩීයාමෙන් ගසෙන් ඇදවැටී කොන්ද ප්‍රදේශයට හානි සිදුව ඇති බවය.හාරිස්පත්තුව බටගල්ලේ පදිංචි උපාලි ධර්මකීර්ති මහතා කියා සිටියේ, පෙදරේරු වැඩ කරමින් සිටින අතරතුරේ කරාබු කැඩීමට ගොස් කරාබු ගසකින් වැටී උකුල් ඇටයට දැඩි හානි සිදුව ඇති බවත් එම අනතුර නිසා අද වන විට ඇවිද ගැනීමට පවා නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත්ය. ඔහු කරාබු කඩන අයගෙන් ඉල්ලා සිටියේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කරාබු කැඩීම සිදු කරන ලෙසය.
කටුගස්තොට සමූහ එස්.ජී. විජේරත්න